ආදරය තවත් වැඩිවෙන්න - ආදරේට පොතක් දෙන්න

post-title

ප්‍රේමය තරම් ලෝකයේ කලාකරුවන් අතින් උත්කර්ෂයට නැගුණු, කලාකරුවන්ගේ නිර්මාණවලට වස්තුවිෂය වුණු වෙනත් මාතෘකාවක් නොමැති තරම්. ඒ අතර සාහිත්‍යය ඇතුළෙ ප්‍රේමයට හිමිවෙන්නෙ විශාල ඉඩකඩක්. විශාල පරාසයක්. ලේඛකයන් තමන්ගෙ නිර්මාණ තුළට ප්‍රේමය තේමාකරගත්, ප්‍රේමය ජීවමාන කරපු වාර ගණන අනන්තයි. අප්‍රමාණයි. මේ අතරින් ඉතාම සීමිත අවස්ථා කීපයක් පහතින් දක්වා ඇත.

"ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ

රිසි වූ කෙනෙකුට පූජා කරන්ට

ලෝබ සිතින් තොර පිදුවමනා වේ

පෙරළා ලබන්ට නොසිතා බිඳකුත් "

(විලාසිනියකගේ ප්‍රේමය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)

"ආදරය ආගමක් විය යුතු ය ලෝකයේ

එතෙක් කල් යාඥා, සෙත් පිරිත්, ස්ත්‍රෝත, කන්නලව්

සජ්ඣා‍යනා වුණාවේ!

පහල වන තුරු හදේ,

රිදී උල්පත් වතුර ආදරේ..."

( සඳගිර පාමුල - රත්න‍ ශ්‍රී විජේසිංහ)

"ඒ පුංචි සුන්දර ප්‍රේමය සඳ ඇබින්දක් වගේ සෞම්‍යයි. හිතට ලා පාට එළියක් ගේනව. මට ඒ ප්‍රේමය දැනෙන වෙලාවට හිතෙනවා නළඟනක් වාගෙ හෙමින් හෙමින් නටන්න. කවුරුහරි ළඟක ඉඳන් බටනලාව පිඹින්න ඕන. හරියට රාධා ක්‍රිෂ්ණ වාගෙ. ආදරේ කියන්නෙ අන්න ඒ වගේ දේකට අමා. අපි වගේම අපේ හිතත් නැළවෙන එකට. ෂාහ් මට බැරිවුණානෙ නළඟනක් වෙන්න......."

(අග පිපි මල් - සුමිත්‍රා රාහුබද්ධ)

"ආදරය කරන සහ ලබන සෑම ආනන්දනීය මොහොතකම පූර්ණව එහි රැඳී සිටින්න. එය මේ මුළු ලොවේම එකම යථාර්ථය යි. අන් සියල්ල විප්‍රකාර ය."

(යුද්ධය සහ සාමය - ලියෝ ටෝල්ස්ටෝයි)

"ප්‍රේමයේ පියාපත් නුඹව ආවරණය කරගත් කල්හි ඔහුට අවනත විය යුතුය... එකල්හි ඔහුගේ පියාපත් අතර සැගවී තිබෙන අසිපතෙන් නුඹට අනතුරු සිදුවිය හැක. එසේ වුවත් ඔහුට අවනත වෙමින් ඔහු අනුගමනය කළ යුත්තේය... මක්නිසාදයත් ප්‍රේමය තෙමේ නුඹ කිරීටය වෙත ඔසවා තබන්නට මෙන්ම නුඹව කුරුසයේ ඇණ ගසන්නටද සමත් වන්නේය. නුඹගේ වර්ධනයට ප්‍රේමය යම් සේ බලපායි ද එම ප්‍රේමයම නුඹගේ අවයව සිඳ දමන්නටද සමත් වන්නේය. "

(සිඳුණු තටු - ඛලීල් ජිබ්රාන්)

"වෙන්වන්නන් විසින් ඉතිරිවන්නන් වෙත සදාකල්හිම තබා යන විලාපය ප්‍රේමය වේ."

(තාරා මගේ දෙව්දුව - නිශ්ශංක විජේමාන්න)

"ආලය අන්ධ නොවනවා පමණක් නොව සියලු අඩුලුහුඬුකම් හොඳින් දකී. ඒ කිසිවක් ගණන් නොගනී."

(කොලරා කාලේ ආලේ - ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්)

තම තමන්ගෙ අත්දැකීම් ඇසුරින්, පරිකල්පනය ඇසුරින් ලේඛකයන් ප්‍රේමයට විවිධ අර්ථකථන ලබාදීල තියෙනවා. අපි කියවපු පොත්වල තියෙන මේ අර්ථකථන මොනම වෙලාවක හරි අපේ අපේ ජීවිතවලට යථාර්ථවාදී විදියට බද්ධවුණු එකම අවස්ථාවක් හරි ජීවිතේදි අපට මුණගැහිල තියෙනවා. මේ අපේ කතාව, මේ මගේ කතාව කියල පොතක්, නිර්මාණයක් ඇතුළෙන් තම තමන්ව දැකපු අවස්ථා නැත්තෙ නෑ නේද?

අපි ගොඩක් දෙනෙකුට ප්‍රේමය පිළිබඳව අත්දැකීම් මුලින්ම හැබෑ ජීවිතේට කලින් විඳගන්න ලැබෙන්නෙ පොත්පත්වලින්. ඒ හැඟීමේ ආස්වාදය ගොඩක් දෙනෙක් හා හා පුරා කියල ස්පර්ශ කරන්නෙ නිර්මාණ හරහා. ඒ නිසාම තමයි කාලෙකදි අපි කියවපු පොත්වල ඉන්න චරිත අපේ ලෝකවල ආදරණීයයන් බවට පත්වෙන්නෙ.

අපේ ආදරණීයයා පිළිබඳව අදහසක්, හැඟීමක්, ඔහු හෝ ඇය මේ වගේ කෙනෙක් විය යුතු යැයි කියල අපේ හිත් ඇතුළෙ කිසියම් හැඟීමක්, චිත්‍රයක් වර්ධනය වෙන්නත්, අපට සුදුසු ආදරණීයයා හඳුනාගැනීම සඳහා පෙළඹවීමක් ඇතිකරන බලපෑමක් අපි කියවපු පොතපත ඇසුරිනුත් අපට ලැබෙනවා ඒ වගේම ජීවිතේ ගැනත්, ආදරේ ගැනත්, අපි ආදරේ කරන විදිය ගැනත් අපේ අදහස්වලට අපි කියවන පොතපත එල්ලකරන්නෙ විශාල බලපෑමක්. ආදරේ විරහවෙන් පීඩා විඳපු අවස්ථාවල්වල, ජීවිතේ කඩාවැටුණු අවස්ථාවල පොත්පත් අපේ පිහිටට ආපු තැන් අපේ ජීවිතවල තියෙනවා.

බොහෝ දේවල් ඩිජිටල්කරණය වීමට පෙර යුගයේදි ආදරණීයයන් අතර පණිවිඩ හුවමාරු වුණු සුලබතම සන්නිවේදන මාධ්‍ය වුණේ ලියුම්. වර්තමාන පරපුරට මේ අත්දැකීම අඩු වුණත් ලස්සනට අපූරු වචනවලින් හැඩවුණු ලිපි ආදරණීයයන් සමග ගනුදෙනු කරපු අතීතයක් ඔබට ඇති. ඒකත් එක්තරා ආකාරයක නිර්මාණ කර්තව්‍යයක් කියල හඳුන්වන්නත් පුළුවන් ප්‍රේමය ගැන නිර්මාණවල, ඔබ කියවපු පොත්පත්වල තිබුණු සිත්ගත් අදහස්වලට, උපුටා ගැනීම්වලට අනිවාර්යයෙන්ම ඒ ආදරණීය හසුන්වල ඉඩක් වෙන්වෙන්න ඇති. ඒ හැමදෙයක්ම ආදරේ තවත් හෘදයාංගම කරපු සුවඳවත් මතකයන්.

මේ විදියට බලනකොට පොත් එක්ක ආදරේට තියෙන්නෙ වෙන්කරන්න බැරි අවියෝජනීය සබඳතාවයක් කියල හොඳට හිතල බැලුවම අපට වැටහෙනවා. නමුත් පොත් එක්ක ආදරේට කොයිතරම් ප්‍රබල සබඳතාවයක් තිබුණත් ළඟ ළඟම එන පෙබරවාරි 14 වෙනිදා වෙන්කරල තියෙන ආදරවන්තයින්ගෙ දිනයේදි ආදරණීයයන් අතර හුවමාරු වෙන අනිත් තෑගිවලට සාපේක්ෂව පොත්පත්වලට හිමිවෙලා තියෙන්නෙ අඩු ඉඩකඩක්. අපි ගොඩක් දෙනෙකුට පොත් එක්ක ආදරේට තියෙන මේ අපූරු සබැඳියාව අමතකවෙලා තියෙන බවක් පෙනෙන්න තියෙනවා.

ආදරේ වෙනුවෙන් එක් දිනයක් වෙන් විය යුතු නැහැ. ඒක හැමදාම එක විදියට පැවතිය යුතු දෙයක් කියල කෙනෙක් කියන්න පුළුවන්. ඔව්. ඒක ඇත්ත. නමුත් යථාර්ථය තුළ ආදරේ වුණත් වරින් වර වෙනස්වෙන හැඟීමක්. ඒක හැමදාමත් ජීවිතේ හැම අවධියකම එකම විදියට පවතින්නෙ නෑ. නමුත් මේ වගේ විශේෂ අවස්ථාවල ආදරේ අලුත් කරගන්න අපට පුළුවන්. ආදරේ අලුතින් බෙදාගන්න, අලුතින් දනවන්න, විඳගන්න මේ වගේ අවස්ථාවල් අපට යොදාගන්න පුළුවන්. මේක පෙම්වතුන්ට පමණක් නෙවෙයි විවාහක අයට වුණත් එක වගේ අදාළ කාරණාවක්.

ඉතින් ළඟ එන ආදරවන්තයින්ගෙ දිනයෙදි ප්‍රේමය සහ පොත් අතර තියන මේ අපූරු සබඳතාවය ගැන අලුතින් හිතන්න අපි පෙළඹුණොත් ඒක ගොඩක් වටිනවා. එදාට ආදරවන්තයින් අතර තෑගි විශාල ප්‍රමාණයක් හුවමාරු වෙනවා. පුංචිම පුංචි ලේන්සුවේ ඉඳල ලොකු පරාසයක් තුළ ඒ තෑගි විහිදිලා පැතිරිලා තියෙනව. ඒ තෑගි අතරට හැකි විදියට පොතක් ඇතුළත් කරන්න පුළුවන් නම්........

ඒක ඔබම හොඳින් හිතල බලන්න........

"එයා පොත් කියවන්න වැඩිපුර කැමති නෑ" මේක ගොඩක් දෙනෙක් කියන දෙයක්. ඒත් අපි ආදරේ කරන අයට දෙන්නෙ, ඒ වගේම දෙන්න ඕනත් හොඳම දේ නේද?

සමහර බෙහෙත් තිත්තයි. ඒත් ඇඟට පත්තියන් වුණාම හරිම ගුණයි. ප්‍රතිඵල දීර්ඝකාලීනයි. ඒ බෙහෙත් තිත්තයි කියල අම්මල අපට ඒ බෙහෙත් නොදී ඉන්නෙවත්, අපි ඒ බෙහෙත් නොබී ඉන්නෙවත් නැහැ නේද?

ආදරේ කියන්නෙ වචනවලට සීමා නොවී දැනෙන්න ඕන දෙයක්. දනවන්න ඕන දෙයක්. විඳින්න ඕන දෙයක්. හරිම පුංචිම දේකින් වුණත් ඒ හැඟීම අඩුවක් නැතුව බෙදාගන්න, විඳගන්න අපිට පුළුවන්. පොත් කියන්නෙ වචනවලින් එහාට ගිහින් ආදරේ සන්නිවේදනය කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක්.

අපි හැමෝටම ඕනකරන්නෙ අපේ ආදරණීයයන් පුදුමයට පත්කරන්න. එයාලට ලේසියෙන් අමතක නොවෙන විදියෙ තෑග්ගක් දෙන්න. දවසක අපේ ආදරණීයයා ළඟ අපි නැතිවුණත්, අපි තෑගි දීපු පොත් එක්ක ඒ සබඳතාවයේ මතකය රැඳිල තියේවි. ඒ පොත කියවල ඔහු හෝ ඇය විඳපු රසය, ඒ පිළිබඳව මතකය, එයින් ඔහුගේ/ඇයගේ ජීවිතයට ඇතිවුණු බලපෑම ලේසියෙන් මැකිල යන එකක් නැහැ. ඉතින් "අමතක නොවෙන තෑග්ගකට" පොතකට වඩා සුදුසු දෙයක් තියෙනවද?

ඉතින් මේ අවුරුද්දෙ ආදරවන්තයින්ගෙ දිනය දවසට පොඩි වෙනසක් කරල බලන්න... ජීවිතේ කියන්නෙ පොතක්. කතාවක්. අපි හැමෝම අපේ ජීවිත කාලෙ ඇතුළත මේ කතාව ලියාගෙන යනවා. ඒ පොත ඇතුළෙ විවිධ පරිච්ඡේද තියෙනවා. ආදරේ මේ පොත ඇතුළෙ නොයෙක් පරිච්ඡේදවල නොයෙක් ආකාරයෙන් අපිට මුණගැහෙනවා. ඉතින් ආදරවන්තයින්ගෙ දිනය දවසෙ ආදරේ වෙනුවෙන් අපි දෙන තෑග්ග අපේ ජීවිතේ කියන පොතේ අලුත් පරිච්ඡේදයක් වුණත් ඇරඹෙන්න හේතුවක් වෙන්නත් බැරි නැහැ.

ඒ වගේම ආදරේට පොතක් දෙද්දි හැකි නම් තමන්ගෙ ආදරණීයයා වෙනුවෙන් ලියවුණු ආදරණීය මතක සටහනක් ඒකට එක්කරන්නත් අමතක කරන්න එපා. පෙරළා ඔබට ලැබෙන ආදරණීය ප්‍රතිචාරය බොහෝවිට ඔබටත් කවදාවත් අමතක වෙන එකක් නැහැ.

Top