විලාසිතාව වැළඳ ගැනීම හා දෘෂ්ටිවාදය බැහැර කිරීම (701)

post-title

(කංසා බීම හා බොබ් මාර්ලේ ව අත්අඩංගුවට ගැනීම)

දර්ශනයෙහි මෑත කාලීන ප්‍රවණතා දෙකක් ලෙස නූතනවාදය හා පශ්චාත් නූතනවාදය හඳුනාගත හැකි ය. නූතනවාදය වනාහී යුරෝපයේ පුනරුදයෙන් පසු ව ඇරඹි නූතන විද්‍යාත්මක මත පිළිගනිමින්, දේවධර්මය ආදී ආදානග්‍රාහී මතවාද බැහැර කරමින් නිදහස් අදහස් පළ කිරීමෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගත්, ධනවාදය වැළඳගත් ධාරාවක් ලෙස හඳුනා ගැනීමේ පහසුව සඳහා නම් කළ හැකි ය. නමුත්, නූතනවාදය පිළිගත් ශිෂ්ට සම්පන්න සංස්කෘතියක ප්‍රෞඪ උරුමක්කාරයන් ලෙස හැසිරුණු මිනිසුන් තව දුරටත් යටත් විජිතවාදී සංස්කෘතියක් පවත්වාගෙන යාම (ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි යටත් විජිත ක්‍රමය සර්ව සාධාරණ එකක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නො වේ), මුඩුක්කු, ගණිකා නිවාස, ළමා අපචාර ආදිය පිළිබඳ සැලකිලිමත් නො වීම කිසියම් විසංවාදී බවක් ඉසිලී ය. ගෑරුප්පුව දකුණටත් හැන්ද වමතටත් ගෙන හැඳි ගෑරුප්පු නො ගටෙමින් ආහාර ගත් ඔවුන්, ශරීරය වසාගෙන ඉතා විනීත ලෙස ඇඳුම් පැළඳුම් කළ ඔවුන්, අතිශය ආචාරශීලී ඇවතුම් පැවතුම් හා වචන පාවිච්චි කළ ඔවුන් සමාජයෙහි පවත්වාගෙන ගිය අවවරප්‍රසාදිත සංස්කෘතිය සාධාරණ ද? යථෝක්ත වරප්‍රසාදිත පන්තියේ දෙබිඩි ජීවිතය ප්‍රශ්න කළ හැකි පරම්පරාවක් බිහිවූයේ මේ විසංවාදික බව තේරුම් ගැනීමත් සමග ය.

ඔවුහු ඉතා සෘජු ව මේ පවතින ක්‍රමයේ ඇති විවේචනය කළා පමණක් නො ව, එකී විවේචනය සමාජගත කළ හැකි විලාසිතාවක් ද සොයාගත්හ. කොටින් ම ඔවුන්ගේ දර්ශනය කිසියම් ආකාරයකට ජීවන විලාසිතාවක් විය. මේ පෙරදිග දර්ශනයට එතරම් නුපුරුදු නො වෙතත් බටහිර දර්ශනයේ මේ ක්‍රමය ඇති වූයේ පළමු වන වතාවට යැයි කීමේ වරදක් ද අපට පෙනෙන්නේ නැත. 

මොවුහු මේ විරෝධතාව දැක්වීම සඳහා ප්‍රධාන ධාරාවේ තිබූ විනීත ඇඳුම් පැළඳුම් පසෙකලා විකල්ප ඇඳුම් සංස්කෘතියක් ආරම්භ කළෝය. ඉරුණු ඩෙනිමේ සිට නග්න බව වැඩියෙන් ප්‍රදර්ශනය කරන ඇඳුම් පැළදුම් සංස්කෘතිය ආරම්භ වූයේ එසේ ය. ඇත්තට ම හික්ම විය යුත්තේ තමා මිස අනෙකා නො වේ. ඇඳුමෙහි කවර අසංවරයක් ද? අසංවරය ඇත්තේ බලන්නාගේ සිත තුළ ය. අප කළ යුත්තේ බලන්නා ලෙස තමාගේ අසංවරය බව සංවර කර ගැනීම මිස අනෙකා සංවර කිරීමට උත්සාහ දැරීම නො වේ. 

ඇතැම් ස්වාමීන් වහන්සේ නමක් දැනට කාලයකට පෙර තම ධර්ම දේශනාවල දී දේශනා කළේ සුද්දෙක් ලංකාවට එද්දී ඇණයක පැටලී කලිසම ඉරි ගිය බවත්, එය ලංකාවේ කිසියම් සංස්කෘතික විලාසිතාවක් ආරම්භ කිරීමට සමත් වූ බවත් ය. මේ කොතරම් වැරදි ප්‍රකාශයක් ද යන්න යථෝක්ත විග්‍රහයෙන් ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි. මෙහි ඇති බරපතල ම කරුණ ඒ වැරදීම නො වේ. ගැටලුව නම් විලාසිතාවට ගරහන අය, එකී විලාසිතාවේ මූලධර්ම පිළිබඳ කිසිදු අවබෝධයකින් තොර ව එය විවේචනය කිරීමට පෙළඹීම යි. මෙය විලාසිතාවේ බාහිර ඔපය බලා එය අනුකරණය කළ මිනිසුන්ටත් වඩා බරපතල ව ගත යුතු කරුණකි. සාමාන්‍ය සම්ප්‍රදාය යමක් කරන්නට වඩා විවේචනය කරන්නා ඒ පිළිබඳ වැඩි අවබෝධයකින් හා අවධානයකින් බැලීම යි. අපේ නැත්තේ ම එය යි. කෙසේ හෝ විවේචනය කරන්නට හැකි නම් එය විවේචනය කිරීම තමාගේ දැනුම පෙන්වීමෙහි හැකිකමක් ලෙස දකිනු සුලබ ය. සම්ප්‍රදායක් ලෙස විවේචනය ම තමාගේ විලාසිතාව කර ගත්තෝ ද දුබල නැත. 

සිත නිවන්නේ යයි කියන සම්භාව්‍ය සංගීතය වෙනුවට රෙගේ, රැප් ආදී ජනප්‍රිය සංගීත රැල්ල ආරම්භ වන්නේ ද පවතින ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දීමට ය. නිරාගමික හෝ අනාගමික සංකල්ප ද මේ මග ම ගත් සංකල්ප වේ.

මෙහි අර්ථය පශ්චාත් නූතනවාදය යහපත් බව කීම නො වේ. එහි ද විශාල දුර්වලතා ප්‍රමාණයක් ඇත. නූතනවාදය ඇති කළ කාර්මීකරණය නිසා සිදු වූ පාරිසරික විනාශය නැවැත්වීමට පශ්චාත් නූතනවාදයෙන් තිරසාර සංවර්ධනය වැනි නව සංකල්ප ඉදිරිපත් කර ඇත. එහි දී පාරිසරික හිතකාමී නිෂ්පාදන කෙරෙහි ඔවුන්ගේ නැඹුරුව අතිශය යහපත් ය. නමුත් ඔවුන් පරිසර හිතකාමී නිෂ්පාදන කිරීම සඳහා (ප්‍රතිචක්‍රීකරණය කළ හැකි භාණ්ඩ නිපදවීම) සිදුකරන ක්‍රියාවලියේ දී සිදු කරන පරිසර විනාශය පෙරටත් වඩා වැඩි වන අවස්ථා ද අපට දක්නට ලැබේ. නිදසුනක් ලෙස ගතහොත් ඇතැම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කරදාසියක් නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන් එකී කර්මාන්තශාලාවෙන් පිට කරන වායුව ඇතැම්විට ප්‍රතිචක්‍රීකරණය නො කරන ලද කඩදාසියක් පරිසරයට මුදා හැරීමෙන් වන හානියට වඩා වැඩි විය හැකි ය.

සංසන්දනාත්මක වශයෙන් මෙකී ප්‍රවණතා පිළිබඳ නිසි අවබෝධයෙන් සලකා බලමින් අපගේ ජීවන විලාසිතාවට ගැළපෙන මාර්ගයක් තෝරා ගැනීමේ වගකීම අප සතු ය. යමෙකු එකී න්‍යායාත්මක අවබෝධයට අකමැති නමුත් එකී විලාසිතාව පමණක් අනුගමනය කිරීමෙහි ද වරදක් නැත. යමෙකු එකී න්‍යායාත්මක අවබෝධයෙන් ද තොර ව තමා ව පිනවන කිසියම් විලාසිතාවක් අනුගමනය කිරීමෙහි ද වරදක් නැත. විශේෂයෙන් සංස්කෘතික සාපේක්ෂතාව පිළිබඳ අවබෝධය විලාසිතා වැළඳ ගැනීමෙහි ලා දක්වන ප්‍රගතිශීලී බව සිහි කටයුතු ය.

වරද ඇත්තේ කිසියම් තමාට නො තේරෙන විලාසිතාවක් තමන්ට තේරෙන ආකාරයට තම සිතැඟි පරිදි අත්තනෝමතික ව විවරණය කිරීම යි. එසේ විවරණය කරමින් එය යහපත් හෝ අයහපත් ලෙස අර්ථකථනය කිරීම යි. එයින් ද නො නැවතී එය සමාජය වෙත පෙරළා දායාද කිරීම යි. ඉන් පසු ව සමාජයෙහි අවබෝධයෙන් මෙම විලාසිතා අනුගමනය කරන මිනිසුන් ව අපහසුතාවයට පත් කිරීමට සිතාමතා කටයුතු කිරීම යි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන බොහෝ දෙනා මෙකී තුන්වන ගණයට අයත් වන්නෝ වෙති ය යන ප්‍රවාදය ගොඩනගන්නට මා මෙහි දී උත්සාහ නො කරන්නේ එය කිසියම් මහා ආඛ්‍යානයක් බවට පත්වන හෙයිනි. නමුත් එහි සත්‍යතාවයක් නැතැයි කාහට නම් කිව හැකි ද?

ලංකාවට මේ බොහෝ විලාසිතාවන් ලෝකයේ කොතැනක ආරම්භ වුවත් ඉතා ඉක්මනින් ම ලැබෙන සුළු ය. නමුත් මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ රටට පැමිණෙන්නේ විලාසිතාව පමණක් වීම යි. ඒ හා තදනුබද්ධ සංස්කෘතිය හෝ එම සංස්කෘතික අවබෝධය අපට ලැබෙන්නේ විලාසිතාව ලැබී වසර ගණනක්, දශක ගණනක් හෝ සියවස් ගනනක් ගතවීමෙන් පසු ව ය. ඇතැම් විට එය කිසිදාක නො ලැබීමට පවා ඉඩ තිබේ. 

අප තුන්වන ලෝකයේ රටක් වීමට ප්‍රධාන හේතුව ආර්ථිකය පමණක් නො වේ. පොත්ත පමණක් ගෙන අභ්‍යන්තරය නො සලකා හරින සංස්කෘතිය ද ඒ සඳහා ගෙන එන අනුබලය සුළුපටු නැත. ඉඳින් මේ විමසිය යුතු කාලය යි.

නුදුරු දිනක දී ආචාර්ය වසන්ත වැලිඅංග මහතා ගෞරවනීය ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඊට හේතුව ලෙස පැවසුණේ, ඔහු කංසා වගාවක් පවත්වාගෙන යාම යි. ඒ සඳහා ඔහු ප්‍රවිෂ්ට වූයේ රටේ ජනාධිපති ඇතුළු වගකිව යුතු බොහෝ දෙනා ද දැනුම්වත් කිරීමෙන් අනතුරු ව බව ද කියැවිණි. එමෙන් ම ඔහු අප කවුරුත් දන්නා ආකාරයට කංසා වගාව පිළිබඳ පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කටයුතු කරගෙන යන උගතෙකි. ඔහුගේ ආචාර්ය උපාධිය පවා ඒ හා තදනුබද්ධ විෂය ක්ෂේත්‍රයක් ආවරණය කළේ ය. 

ශ්‍රී ලංකාවේ උත්තරීතර පොලිසිය පාරේ බෝක්කුවේ විලාසිතාවට ගංජා ගහන පුද්ගලයාත්, පර්යේෂණාත්මක වැඩබිමක කංසා ගැන සොයන පුද්ගලයාත් සම තත්ත්වයක සැලකීම මේ අනුව ඔබ නිර්වචනය කරන්නේ කෙසේ ද? ඒ නීතියේ සමානාත්මතාව ද? අධිකරණය ද මේ පොලිසිය ගත් මග ම අනුමත කරයි නම් ඒ සඳහා ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? 

බොබ් මාර්ලේ (bob marley) ලංකාවේ නූපන්නේ ඔහුගේ වාසනාවට ය. ලංකාවේ රැප් (rap) රස්තියාදුකාර ය. එනිසා ඒවා රස්තියාදුකාර රැලට ම පමණක් උරුමයෙන් උරුම ය. කිසිදාක නිසි අධ්‍යයනයකින් යුතු ව එකී විලාසිතාව අනුගමනය කරන මිනිසෙකුට අපේ රටේ තමාගේ ශාස්ත්‍රීය වටිනාකම ලබාගැනීම සිහිනයකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව රැඩිකල්කම තරුණ කාලයේ ඇති මානසික දුබලතාවකි. පරිණත බව නම් නිද්‍රාශීලී සීලවන්ත බව යි. උද්ඝෝෂණයෙන් තොර උපවාසය යි.

මේ රට අමුතු ය. එක්කෝ රටෙහි මේ පවතින සංස්කෘතියට අප කොන්දේසි විරහිත ව යටත් වී නිද්‍රාශීලී දිවි පෙවතකට හුරු විය යුතු ය. එවිට යහපත් ජීවිතයක් ගත කළ සාමකාමී අහිංසක අයෙක් ලෙස දිව්‍ය විමානයක මතු ඉපදීමට වාසනාව ලැබෙනු ඇත. 

එසේ නැත්නම්?

Top