බොහෝ ජ්‍යෙෂ්ඨයින් ශ්‍රේෂ්ඨ නොවන්නේ ඇයි ? (646)

post-title

මේක ලියන්නේ අත්දැකීම් කිහිපයක් පදනම් කරගෙන. විශේෂයෙන්ම මගේ අත්දැකීම් වලට අනුව මම දැකපු දෙයක් තමයි, වයසින් මුහුකුරායත් ම පුද්ගලයින් බොහෝ වෙලාවට තමන්ට වඩා වයසින් අඩු පුද්ගලයින් නොරුස්සන එක. ලංකාවේ සමාජය තුළ මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ජ්‍යෙෂ්ඨයින් නැතිනම් වයසින් වැඩි පුද්ගලයින් තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් සමාජයට කැපී පෙනෙන ලෙස වැඩ කරනවාට තිබෙන අකමැත්ත, මෙතනදී මූලික වෙන බවයි මගේ අදහස.

ඔවුන් බොහෝ විට සිතන්නේ "අපි ජ්‍යෙෂ්ඨයින්, අපි හැමදේම දන්නවා. අපිට වඩා එයාලා කොහොමද දන්නේ ? එයාලා එහෙම කරන්නේ කොහොමද? " වගේ දේවල්. 

බොහෝ අයගේ මතය අපි මෙච්චර කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉදලා තියෙනවා... නැතිනම් මේ දේ කරලා තියෙනවා. ඒත් නැතිනම් ලංකාවෙන් පිට නම්, අපි මෙච්චර කාලයක් මේ රටේ ඉදලා තියෙනවා... ඉතින් අපිට වඩා කොහොමද දන්නේ කියන එක. ඇත්තටම මෙතන තියෙන්නේ කුහකකමක්. 

බොහෝ පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය දේ, තමන්ට අවශය කාලය තුළ ලබාගැනීමට නොහැකි වූ විට, එතන ඇතිවෙනවා ඉච්ඡාභංගත්වයක්. ඒ ඉච්ඡාභංගත්වය නැතිකරගැනීම සදහා ඔවුන් බොහෝ දුරට අනුගමනය කරන්නේ අනෙකුන් විවේචනය කිරීම. මෙහීදී ඔවුන් තනිවම හෝ කාණ්ඩායක් වශයෙන් එකතු වී විවේචනය කිරීම සිදුකරනවා.

ඔවුන් බොහෝ විට තමන්ගේ ජීවිතේ, තවත් ඉදිරියට තිබෙන කෙටි කාලයත් නාස්ති කරමින් තමන්ගේ ඉච්ඡාභංගත්වය නැතිකරගැනීමට සදහා කටයුතු කරනවා.  ලංකාවේ සමාජය ගතහොත්, තරුණ සමාජයේ හොද සහ නරක දෙක ම විවේචනය කරන්නේ මේ කියන පුද්ගලයින්. කිසිදු නිගමනයකින් තොරව ඔවුන් තරුණ සමාජයේ හොද පවා විවේචනය කරනවා. විවේචනය කිරීමට දෙයක් නැතිනම් ඔවුන් උත්සාහ කරනවා විවේචනය කළ හැකි දෙයක් නිර්මාණය කරන්න. මේ සදහා බොහෝ විට ඔවුන්ගේ කාලය නිකරුනේ නාස්ති කරනවා. 

උදාහරණයක් විදිහට ගම්වල සුදු ඇදගෙන, හතර පෝයට සිල්ගන්න පන්සල් දුවන, ගෙදර උදේ හවස මහ හයියෙන් බණ අහන ඇතැම් උදවිය ගමුකෝ. බහුතරයක් මෙන්න මේ පුද්ගලයින් අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක තරහයි. පුලුවන් තරම් ගමේ අනිත් උනුත් එක්ක එකතුවෙලා පද හදනවා. කාලය නාස්ති කරනවා. කිසිම දෙයක් රුස්සන්නේ නැහැ. 

ඉතින් මේ මිනිස්සු කොහේ ගියත් තමන්ට ආවේනික මේ සමාජ රාමුවෙන්නන් එලියට එන්නේ නැහැ. මව් රටින් බැහැරව වෙනත් රටවල සිටින බොහෝ වැඩිහිටියන් මෙන්න මේ වගේ. බොහෝ විට ඔවුන් සිතන්නේ, ඔවුන් වෙනත් රටවල ජීවත් වූ අවුරුදු ගානත් සමග ම ( මම අවුරුදු 30 හිටියා, 20 ක් හිටියා.....) ඔවුන්ගේ උගත් බව, බුද්ධිමත් බව වැඩිවනවා යන්නයි ( උගත් බව සහ බුද්ධිමත් බව නිකන් ලැබෙන්නේ නැහැ). ඔවුන් සියලු දේ දන්නා බවයි. අනෙක් අතට, අනෙක් සියලු පුද්ගලයින් ඔවුන්ට යටහත් පහත්ව සිටිය යුතු බවත් ඔවුන්ගේ අනුගාමිකයන් විය යුතු බවත්ය.

මේ කරුණු නිසා බොහෝවිට සිදුවන්නේ සමාජය තුළ කුඩා කුඩා කාණ්ඩායම් නිර්මාණය වීමත්, වැරදි මත සමාජගතවීමත්‍ යන්න මගේ පුද්ගලික අදහස ය.  තමන්ට කිරීමට නොහැකි දෙයක් තව පුද්ගලයකු විසින් සාර්ථකව ඉදිරියට ගෙන යන විට ඒ දෙස බලා ඔවුන් දිරිගැන්වීම නොවේද කළ යුත්තේ? 

තරුණ ප්‍රජාව තුළ තිබෙන හැකියාවන්, දක්ශතාවයන් ඇගයීමට නොහැකිනම්, අඩුම වශයෙන් ඔවුන් විවේචනය නොකර සිටීමට තරම්වත් හැකියාවක් ඔවුන්ට නැහැ. ලංකාව රටක් වශයෙන් ඉදිරියට නොයන්නටත් මේ කරුණු බලපෑමක් වෙලා තිබෙනවා. 

ෆින්ලන්තයේ අගමැතිණිය වයස අවුරුදු 35 තරුණ කාන්තාවක්. ෆින්ලන්ත ජනතාවගේ බහුතරයකගේ මතය ඇය ඉතා ම දක්ශ, තරුණ ජවයෙන් පිරි, අගමැතිවරියක් යන්නයි. සුලු පිරිසකගේ විවේචන නැතුවමත් නොවේ නමුත් ෆින්ලන්ත ජනතාවගේ, බහුතරයකගේ මතය තරුණ පිරිස ඉදිරියට පැමිණිය යුතු බවයි. 

හැබැයි ලංකාදීපයේ නම් මේකේ අනිත් පැත්ත. මොන පැත්තෙන් බැලුවත්. කෙටියෙන් ම කියනවා නම්, වයසට යනවා කියන්නේ සුදුසුකමක් නොවේ. අපි හැමෝම වයසට යනවා. 

මේකට හොදම උදාහරණ අපි පලතුරු වට්ටියක් ගමුකෝ, මේ පලතුරු වට්ටියේ තියෙන පලතුරු කල් යත් ම පරණ වෙනවා. සමහර පලතුරු කුණු වෙනවා. අපි කරන්නේ, ඒවා පරිභෝජනය නොකර ඉවත් කරන එක, ඒ වගේම සමහර පලතුරු තියෙනවා ඒවා පුස් කනවා විතරක් නෙවේ, ඒ අවට තියෙන අනෙකුත් පලතුරුත් ඒ නිසා විනාශ වෙනවා. අපි කරන්නේ ඒ පලතුරුත් ඉවත් කරන එක.

පරණ වෙන්න පරණ වෙන්න වටිනාකමින් ඉහළ යන දේවලුත් තියෙනවා. හැබැයි වටිනාකම වැඩිවීම තීරණය වෙන්නේ පුද්ගලයෙක් හෝ වේවා, භාණ්ඩයක් හෝ වේවා එයින් තමන්ට සහ වෙනත් අයට සිදුවණ සහ සිදුවුණු සේවාව මත.

ඒ නිසා පරණ වෙනවා කියන්නේ සුදුසුකමක් නෙවේ.

අවසාන වශයෙන් මෝඩයොත් වයසට යනවනේ.

Top