ජීවිතය ජීවත් කරවන සැබෑ මනුෂ්‍යත්වය (636)

post-title

අද්‍යතන සමාජයේ මිනිසා අතීත මිනිසාට සාපේක්ෂ ව අති විශාල ලෙස වෙනස්වීමකට ලක් ව ඇත. ඒ අද්‍යතන මිනිසා ඊයේ දිනට වඩා අද දවස වන විට තම බුද්ධිය සුළු ප්‍රමාණයකින් හෝ වැඩිදියුණු කරගෙන ඇති නිසාවෙන් ය. වර්තමානයේ පවතින තාක්ෂණීකරණය ඔස්සේ තමාගේ බුද්ධිය වැඩිකර ගැනීමේ මෙම ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය වී ඇත. ඒ ඔස්සේ ඔවුන් දිනෙන් දින කිසියම් හෝ වෙනසකට බඳුන් වීම සිදු වේ. කෙසේ වුවත් එම වෙනස්වීම සිදුවිය යුත්තේ සැබෑ මනුෂ්‍යත්වය රඳා පවතින ආකාරයට ය. නමුත් බොහෝදෙනා සිතා සිටිනුයේ අද සිටින පුද්ගලයා ම හෙට දිනයේදී ත් සිටින බවයි. එහෙත් එය වැරදි අර්ථකථනය කි. අද දවසේ දී ඔබේ බුද්ධිමත්භාවය ඔබේ ඉගෙනීම ඔස්සේ සුළු ප්‍රමාණයක් හෝ වැඩිදියුණු කර ගැනීමට ඔබට හැකියාව ලැබී ඇත. කෙසේ වෙතත් බුද්ධිමත්භාවය උදෙසා සිදු කරන්නා වූ එකී ඉගෙනීම ඔස්සේ සැබෑ මනුෂ්‍යත්වය අගයන මිනිසෙකු වන්නේ කෙසේදැයි යන්න සබුද්ධික ව වර්තමාන මිනිසා විසින් ඉගෙන ගෙන ඇත්දැයි යන්න වර්තමාන සමාජය හමුවේ ඇති සුවිශාල ප්‍රශ්නයකි. 

බොහෝදුරට පුද්ගලයා සිතනුයේ මිනිසාගේ බුද්ධිය ඉපදීමත් සමඟ ඔහු හෝ ඇය විසින් රැගෙන එන්නක් වන බවයි. නමුත් ඒබ්‍රහම් ලින්කන් මහතා පවසනුයේ ඕනෑම අනුවණයෙකුට වුවත් නිසිලෙස අධ්‍යාපනය ලබා, ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නේ නම් බුද්ධිය යන්න සෑම පුද්ගලයෙකුට ලබගත හැක්කක් වන බවයි. අද දවසට වඩා හෙට දවසේ දී ඥානවන්තයෙකු විය හැකි බවයි. නමුත් ඒ ඥානවන්තභාවය මනුෂ්‍යත්වය උදෙසා ම පවතින්නා වූ ඥානවන්තභාවයක් වීම ඉතාමත් අගනේය.

මනුෂ්‍යත්වය යන්න මිනිසාගේ එදිනෙදා සබඳතාවන් සම්බන්ධයෙන් මානවවාදයේ මූලධර්ම ප්‍රකාශ කරනු ලබන සදාචාරාත්මක ගුණාංගයකි. එයට කරුණාවන්තකම, අන් අයට ගරු කිරීම, අනුකම්පාව, විශ්වාසය, ත්‍යාගශීලීභාවය, අන් අයගේ අවශ්‍යතා වෙනුවෙන් ආත්ම පරිත්‍යාගය, නිහතමානීවකම සහ අවංකභාවය යනාදී වූ පෞද්ගලික ගුණාංග රාශියක් ද ඇතුළත් වනු ඇත. මනුෂ්‍යත්වය තුළින් අන් අය සමඟ මානසික සමඟිය මෙන්ම අනෙකා සමඟ අභ්‍යන්තර සමානකමක් පිළිබඳ හැඟීමක් ද ඇතිවීම සිදු වේ.

ඇමරිකානු ජනාධිපති ව සිටි ඒබ්‍රහම් ලින්කන් යනු විශිෂ්ට වූ මනුෂ්‍යත්වයකින් යුතු මිනිසෙකි. දිනක් උදෑසන තම සපත්තු පොලිෂ් කරමින් සිටින ඔහුව, ඔහුගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් දැක පුදුමයට ද පත්විය. මෙමඟින් ලින්කන් ජනාධිපතිවරයා සතුව පවතින ඔහුගේ මනුෂ්‍යත්වය පිළිබඳ ව වටහා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. ඔබේ තනතුර හෝ සාර්ථකත්වය ගැන සිතමින් කටයුතු නොකර, කෙතරම් තනතුරුවලින් ඉහළ ගිය ද නිහතමානීකම ම ආභරණයක් කර ගනිමින් කටයුතු කිරීම සමාජය තුළ ජීවත්වීමේ දී ඉතාමත් වැදගත් වන්නකි. ඔබේ තරාතිරම කුමක් වුවත් ඔබේ කටයුතු ඔබම කර ගන්නවා නම් එතැන ඇත්තේ මනුෂ්‍යත්වය යි. ඔබේ නිරහංකාරකම යි.

එය එසේ වුවත් අද නූතන ලෝකයේ මනුෂ්‍යත්වය යන්න ප්‍රශ්නයකට ලක් වූවකි. අද වන විට මනුෂ්‍යත්වය හිතාමතාම දුර්වලකම සමඟ ව්‍යාකූල වී ඇත. පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් වටිනාකම් ලුහුබැඳ යාම නිසා කරුණාව, ත්‍යාගශීලී බව යනාදී වූ බොහෝ මානුෂීය ගුණාංග අද වන විට මිනිසාට පිටුපා ගොස් හමාරය. මනුෂ්‍යත්වය යන්න පුද්ගලයා තුළ නැති වීමත් සමඟ ම පුද්ගලයාට හිංසනය සහ හිංසා කිරීමේ හැකියාව ද ලැබෙනු ඇත. එමෙන්ම මනුෂ්‍යත්වය නොමැති පුද්ගලයා අනෙකාගේ දුකේදී පවා සිනාසෙනු ඇත. සඟයෙකුගේ ගැටලුවක දී ඔහු ප්‍රීති වනු ඇත. දුර්වලයාව සමච්චලයට ලක් කරමින් එම පුද්ගලයාව නින්දාවට ද පත් කරනු ඇත. එවිට මිනිස් සබඳතාවන් විනාශ වී යමින් මනුෂ්‍යත්වය යන්න මිනිසුන්ගෙන් ඈත් වීම යනු ඇත.

එසේ වුවත් ස්වභාව ධර්මය මඟින් උපත ලබා ඇති මනුෂ්‍යත්වය යළි සමාජය තුළ ගොඩනැංවීමට නම් එය අධ්‍යාපනය තුළින්, මානුෂීය වැඩසටහන් තුළින් ඇතිකළ හැකිය. එහෙයින් ඒ සඳහා කටයුතු කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳ ව තාර්කික අවබෝධයක් ඇති, අධ්‍යාපනයෙන් පෝෂණය වූ බුද්ධිමත්භාවයෙන් යුතු සැබෑ මනුෂ්‍යත්වයක් අද්‍යතන සමාජ සංදර්භය තුළ ඇති කිරීමට උත්සුක වීම මුලුමහත් මිනිස් සංහතියේ ම යුතුකමක් මෙන්ම වගකීමක් ම වන්නේ ය.

Top