මුදල් කියන්නේ ජීවිතේම ද? (605)

post-title

ඔබ සිතන ලෙසට මිනිසුන්ට කොතරම් ලැබුනත් ප්‍රමාණවත් නොවන දේ මොකක් ද? ඔව් ඔබ හරි ඒ මුදල්. මුදල් නම් අපිට කොපමණ තිබුනත් ඇති කියලා හිතන්නේ නෑ නේද? මිනිසුන් උත්සාහ කරන්නෙම ප්‍රීතිමත් ලෙස ජීවත් විය හැකි තරම් මුදල් එක් රැස් කරගන්න. ජීවත්වන්න අපට මුදල් අවශ්‍යයි තමයි. නමුත් මුදල් කියන දේ ජීවිතේම කරගන්න අවශ්‍ය ද?

මේ ලෝකය පුරාම ජීවත් වන සෑම පුද්ගලයකුම සිය වගකීමක් වශයෙන් සළකන ප්‍රමුඛතම කාර්යයක් බවට මුදල් ඉපැයීම පත්ව තිබෙනවා කියලා මම හිතනවා. ඇතැම් විට යම් පුද්ගලයකුට එය මඟ හැරී ගියහොත් ඔහු වගකීම්වලින් පලා යන්නකු වශයෙන් සමාජය හඳුන්වනවා නේද? එයට හේතු වී ඇත්තේ වර්තමාන ලෝකය මුදල් මත පදනම් වී තිබීමම තමයි. මුදල් නොමැතිව යහපත් ජිවිතයක් ගත කිරීමට නොහැකි බවට මිනිසුන් සිතනවා.

මම මේ ලිපියෙන් ඔබට කියන්නට උත්සාහ කරන්නේ මුදල් කියන සාධකය ඔබේ ජීවිතයම කර ගන්නට එපා කියලයි. මම එහෙම කියන්නේ මුදල් කියන දේ ට හැමදේම තීරණය කිරීමට අපහසු නිසයි. ඇතැම් පුද්ගලයින් ඔවුනට අවශ්‍ය ප්‍රමාණයටත් මුදල් තිබුණොත් ප්‍රීතිමත් ජිවිතයක් ගත කළ හැකි යැයි සිතනවා. ඔවුන්ගේ ජිවිතයේ ප්‍රමුඛතම කාර්යය බවට පත්ව තිබෙන්නේ මුදල් ඉපයීමයි. 

නමුත් මුදලට අපේ ජීවිත සම්පුර්ණයෙන්ම යහපත් කරන්න පුලුවන් ද? එක්තරා විදේශීය වැඩසටහනක එයට සහභාගී වූ පුද්ගලයෙකු විසින් කරනු ලබන ඉතාමත් වැදගත් අදහසක කොටසක් මම මෙසේ දක්වන්න හිතුවා.

මුදල්වලින් ඔබට නිවසක් මිලදී ගත හැකියි. නමුත් ඔබට මුදල්වලින් එම නිවසේ ජීවත්වීමට පවුලක් මිලදී ගත හැකි ද? එසේම මුදල්වලින් නිවැසියන් අතර තිබෙන සතුට මිලදී ගැනීමටත් නොහැකියි. මුදල්වලින් ඔබට ඔරලෝසුවක් මිලදී ගත හැකියි. නමුත් මුදල්වලින් ඔබට කාලය මිලදී ගත නොහැකියි. කාලය ඉක්මනින්ම ගෙවී යනවා. මුදල්වලටවත් එය නවත්වන්න නොහැකියි. මුදල්වලින් ඔබට ආහාර මිලදී ගත හැකියි. නමුත් යහපත් සෞඛ්‍යයක් මිලදී ගත හැකි ද? මුදල්වලින් ඔබට සයනයක් මිලදී ගත හැකියි. නමුත් මුදල්වලින් ඔබට සුවදායක නින්දක් මිලදී ගත නොහැකියි. මුදල්වලින් ඔබට රක්ෂණයක් මිලදී ගත හැකි වුවත් ඔබේ ආරක්ෂාව මිලදී ගත නොහැකියි.

සැබවින්ම මුදල්වලින් හැමදේම මිලදී ගත නොහැකි බව ඔබ තේරුම් ගත යුතු වෙනවා. ජීවිතයක සතුට තීරණය වන්නේ මුදල් මත යැයි ඕනිම අයෙකුට කිව හැකියි. නමුත් මා නම් සිතන්නේ සතුටින් ජීවත්වීමට මුදල්වලට වඩා ප්‍රබල බොහෝ සාධක තිබෙනවා. ඒ අතර මානසික නිදහස නම් ඉහළින්ම තිබෙනවා. ඔබ ජීවත්වීමට මුදල් ඉපැයිය යුතුයි. නමුත් එය ඔබේ ජීවිතයම කර ගන්න එපා. ඒ මුදල්වලට ඔබට අවශ්‍ය සියලු දේ මිලදී ගත නොහැකි නිසයි. මුදලට වඩා වටින දේවල් ඔබේ ජීවිතයට එක්රැස් කරගන්නට උත්සාහ කරන්න. එය වටිනාකමින් අඩු දෙයක් වන්නට පුළුවන්. නමුත් එයට හැකියි ඔබව සතුටින් තියන්න !

Top