ජාලේශ්කරණය හා පරිශීලක පරිභෝජනවාදය තුළ ඔබ නොදැනුවත්ව එයට හසු වූණු පරිශීලකයෙක් ද? (587)

post-title

ජාලතන්ත්‍රවාදය නැතිනම් ජාලේශ්වරය අද්‍යතන සංදර්භය තුළ නිර්මාණය වන්නේ ධනේශ්වර යුගයේ සිට සංක්‍රාන්ත වීමත් සමගය. අප ජීවත් වන 21 වන සියවසේ ධනවාදී යුගය ආරම්භ වන්නේ මෙයට පෙර පැවති වැඩවසම් යුගයේ අවසානයත් සමගයි. වැඩවසම් යුගයේ අත්තනෝමතික රාජාණ්ඩු ක්‍රමයක් බිහි වූ අතර සමාජ ස්තර බෙදී යාම දක්නට ලැබිණි. ධනේශ්වරය බිහි වන්නේම වැඩවසම් ක්‍රමයට විරුද්ධව සිදු වූ සටනේ ප්‍රතිඵලයක් ලෙසටයි. මෙහිදී ධනේශ්වර ජනමාධ්‍යවේදය ධනේශ්වර විප්ලව ජයග්‍රහණය කිරීම සදහා සූදානම් කළ ප්‍රබල මතවාදීමය සාධකයක් විය. වර්ෂ 1300 දී පමණ කාලයේ දී ඇති වූ සාගත, වසංගත මෙන්ම 15 වැනි සියවසේ දී බැංකු ක්‍රමයන්ගේ වර්ධනයත් ශීඝ්‍ර ලෙස සිදුවෙමින් සමාජ, ආර්ථික ව්‍යුහයන් වෙනසකට බදුන් විය. මේ සියලු වෙනස්කම් සමගින් දීර්ඝ කාලයක් පැවති වැඩවසම් යුගය නිමාවට පත් කරමින් යුරෝපය කේන්ද්‍ර කොට ගනිමින් ධනවාදය ආරම්භ විය.

ධනවාදී සමාජ ක්‍රමයේ දී පෙර පැවති සමාජ ක්‍රමයටත් වඩා ධනය ඇති පංතියක් මේ තුළින් නිර්මාණය වූ අතර නිදහස් වෙළෙදපොළ සංකල්පය, ධනපති ආර්ථිකය හා පාරිභෝගික සමාජය තුළින් ධනවාදය ක්‍රියාත්මක විය. මෙහිදී ධනේශ්වර වෙළෙද පංතිය නිර්මාණය වෙමින් නිෂ්පාදනය කරන නිෂ්පාදිතයන් පරිභෝජනය කිරීමට ජනතාවක් නිර්මාණය වීම මෙම යුගයේ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණය විය. දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ දී කාර්මික ධනවාදයේ සිට මූල්‍ය ධනවාදය දක්වා වර්ධනය වීමක් සිදු වූ අතර 21 වන සියවසේ අගභාගය වන විට මූල්‍ය ධනවාදී යාන්ත්‍රණය බිද වැටීමේ ස්වරූපයක් දැකිය හැකිය. මේ සමගින් මූල්‍ය යාන්ත්‍රණය අඩපණ වී ආර්ථිකය තම තමන්ගේ රටවල් මූලිකව කලාපීයකරණයට ලක් විය.

මෙම සමාජ ක්‍රමයේ දී ඇමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල් සිය බලය හා ආධිපත්‍යය ලබා ගැනීම සදහා යුධමය තත්ත්වයන් හා ගැටුම් ඇති කරමින් මූල්‍යමය බලය ලබා ගැනීමට උත්සාහ කෙරිණි. මෙහිදී එක් යුගයක් අවසන් කර තවත් යුගයක් ආරම්භ වන්නේ එම යුගයේ තවත් පංතියක් බලයට පැමිණීමත් සමගය. ඒ සදහා ඔවුන් යොදා ගන්තේ යුධමය උපක්‍රමයයි. නමුත් ධනේශ්වර යුගය බිද වැටීමත් සමගම නව යුගයේ ආරම්භයේ දී ලෝකයේම බලය තමා සතු කර ගැනීමට බටහිර රටවල් යොදා ගනු ලැබූවේ න්‍යෂ්ටික අවි යොදාගත් යුධමය උපක්‍රමය නොවේ. ඒ සදහා තාක්ෂණික විප්ලවයකට මාර්ගය විවර විය. වර්තමානයේ දී යුධමය වාතාවරණයක් ඇති වුවහොත් සිදු වන්නේ නව්‍ය සමාජ වර්ධනයක් වෙනුවට සියලු සමාජීය ව්‍යුහයන් විනාශයට ලක් වීම පමණකි. මෙහිදී ධනේෂ්වර පංතියේ තාක්ෂණික විප්ලවයත් සමග ජාලගතකරණය නිර්මාණය වීම නිසා පශ්චාත් ධනේශ්වර යුගයේ දී නව ස්වරූපයක් ලෙසට ජාල මෙහෙයවන තන්ත්‍රයක් ඇති විය. එය ජාලතන්ත්‍රවාදයයි.

ධනවාදයේ ප්‍රාග්ධනය කාර්මික, භාණ්ඩ, සේවා වුණත් ජාලේශ්වරයේ දී ප්‍රාග්ධනය වන්නේ අවධානයයි. (Attention ) මුඛ්‍ය ලෙසටම සදහන් කළහොත් ජාලේශ්කරණයේ දී මූල්‍ය යන්න ප්‍රාග්ධනය නොවෙයි. මෙහිදී ජාලයන් ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පුද්ගලයන්ගේ අවධානය දිනා ගැනීමට ප්‍රයත්න දරනු ලබයි. ධනේශ්වර යුගයේ දී ස්වාධීන නිර්ධන ව්‍යාපාරයක් ගොඩ නැගුණු අතර එය ධනවාදී සමාජ ක්‍රමයේ ක්‍රියාකාරී අරමුණ බවට ද පත් විය. නමුත් ජාලේශ්කරණයේ අරමුණ වූයේ පරිශීලක පිරිසක් බිහි කිරීමයි. විශේෂයෙන්ම ඔවුන්ගේ ලාභාංශය බවට පත් වන්නේ පරිශීලක පරිභෝජනවාදී පිරිසකි. ඒ සදහා ඔවුන් යොදා ගන්නේ මෙම ජාල ඔස්සේ සිදු කරන සන්නිවේදන ක්‍රියාන්විතයයි. පශ්චාත් කාර්මික සමාජයක් තුළ බිහි වූ මෙම ජාලේශ්වරය ප්‍රබල වශයෙන්ම සමාජ මාදිලියක් වශයෙන් වර්ධනය වීමට පටන් ගත් අතරම විශේෂයෙන්ම කොවිඩ්-19 වෛරසයත් සමගම ජාතික රාජ්‍යයන් දුර්වල වීමද ආරම්භ විය. එයත් සමගම සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අංශයන් සමාගම් වලට සංක්‍රාන්ත වීමත් සමග සමාගම් තන්ත්‍රවාදය ඇති වීම සුවිශේෂීය. මෙම සමාගම් තන්ත්‍රවාදය යනු ජාලේශ්වරය හා සමගාමීව යන සමාජ මාදිලි ලෙසට හැදින්විය හැකිය. ජාතික රාජ්‍යය තුළ මිනිසුන් පාලනය කිරීම සදහා උසාවිය, අධිකරණය, පොලීසිය, හමුදාව, අධ්‍යාපන, සෞඛ්‍යය යනාදී අංශයන් වලට අදාළ ආයතන තිබුණු නමුත් ජාලේශ්වරය තුළදී මිනිසුන්ව සම්පූර්ණයෙන්ම පාලනය කිරිම සදහා යොදා ගනු ලබන්නේ ජාලයන්ය.

 

ජාලේශ්වරය සමග සමාජය තුළදී විවිධ වෙනස්කම් සිදු වේ. ඉන් ප්‍රධානතම වෙනස්කම වන්නේ ජාලේශ්වර සන්නිවේදනයයි. මෙහිදී සංහතික මාධ්‍යවල බලය අඩු වී ජාලේශ්වර මාධ්‍යයන්හි සන්නිවේදනය වර්ධනය වීම නිතැතින්ම සිදු වේ. මෙය මා හදුන්වන්නේ සන්නිවේදනය තුළ සිදු වු නව සුසමාදර්ශී පදනම්වාදයක් කරා යාමක් ලෙසය. මෙම සුසමාදර්ශය තුළ ජාලේශ්වරය යනු විද්‍යාත්මක තාක්ෂණික සන්නිවේදන විප්ලවයකි. සුසමාදර්ශී පදනම් වාදයක් තුළ සිදුවන්නේ යම් ක්ෂේත්‍රයක් තුළ මතු වන ගැටලු සදහා අදාළ පදනම්වාදයෙන් විසදුම් සෙවීමට නොහැකි වූ විට අනියමයන් ඇති වේ. ඒ නිසාම ඒ පදනම්වාදය අතහැර නව පදනම්වාදයක් කරා යාමට සිදු වෙයි. මෙහිදී ජාලේශ්වරය යන සංදර්භික න්‍යාය පැමිණීමට පෙර, පෙර තිබූ සමාජ ක්‍රමය වෙනස් කිරීමට යොදා ගත් උපක්‍රම වලින් විතැන්ව නව ආකෘතියකට අනුව සමාජ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු විය සහ අවශ්‍යතාවය මතු විය. එහිදී පෙර ලෝකය පාලනය කරන ධනේශ්වර පංතියේ දේශපාලන හා බුද්ධිමය බලය අඩපණ වී එතැනට තාක්ෂණය මූලික කොටගත් ජාලගතකරණය සංයුක්ත විය. මෙය තව දුරටත් සුසමාදර්ශයක් වන්නේ ධනේශ්වර ක්‍රමයේ අවසාන භාගයේ දී ක්ෂේත්‍රය තුළ අර්බුදයක් ඇති වූ නිසාය. ජාලේශ්වරය යන්නත් එබදු නව පදනම් වාදයක ආගමනයක් ලෙස දැක්විය හැකි අතර එය මා විසින් එසේ දැක්වීමම උචිතයැයි සිතේ. එහිදී අන්තර්ජාලය මූලික කොට ගනිමින් ස්වයං සන්නිවේදන මාදිලියක් ලෙස බිහි විය. මෙහිදී අන්තර්ජාලයේ බලය වැඩි වී එය එකම ජාලයක් බවට පත්ව මුලු ජාලයම මෙහෙයවීමක් සිදුවීම ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇත. ජාලේශ්වරය සදහා යොදා ගත් මාදිලියන් ලෙස Face book, Twitter, Wattsapp, You Tube, Viber යනාදී සමාජ මාධ්‍යයන් හදුන්වා දිය හැකිය.

ජාලේශ්වරය හා සමාජ මාධ්‍ය ග්‍රාහකයා ( පරිශීලකයා ) යනු එකිනෙක අවියෝජනීය සම්බන්ධතාවයක් රැගෙන යන්නකි. ජාලේශ්වරය තුළ ක්‍රියාකාරී සාමාජිකයා වන්නේ ජාලය පරිභෝජනය කරන ග්‍රාහකයායි. මෙහිදී ග්‍රාහකයා සන්නිවේදකයා බවට පත් වන අතරම ඒ සන්නිවේදකයාම ග්‍රාහකයා බවට ද පත් වෙයි. මේ අනුව ජාලේශ්වරය පරිභෝජනය කරන යාවජීව සාමාජිකයා ග්‍රාහක සහ සන්නිවේදන භූමිකා යන ද්විත්වයම ඉටු කරයි. ඒ අනුව ජාලේශ්වර ක්‍රියාකාරීත්වය තුළදී පරිශීලකයා ජාලේශ්වර මාධ්‍ය සන්නිවේදනය සමග නිරුත්සාහකව සම්බන්ධ වේ. ආචාර්ය ටියුඩර් වීරසිංහයන් පෙන්වා දෙන ආකාරයට, 

■ ජාලේශ්වර මාධ්‍ය සන්නිවේදනයේ වර්ධනය වීමත් සමග මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවම 

මට්ටමකට පත් වේ.

■ තොරතුරු අධික වීමත් සමගම තොරතුරු වසංගතයක් ඇති වේ.

■ මාධ්‍ය ජාලයන්හි අනවශ්‍ය තොරතුරු වර්ධනය වී ගුණාත්මක තොරතුරු භාවිතය අවම වී යාම නිතැතින්ම සිදු වේ.

■ පෙර මිනිසුන් අතර තිබූ සම්බන්ධතාවල සජීවීබාවය නැතිව ගොස් යාන්ත්‍රික තත්‍යාසන්න දුරස්ථ සම්බන්ධතා නිර්මාණය වේ.

මාධ්‍ය ලෝකය තුළ අධ්‍යාපනය, තොරතුරු, විනෝදය හා පෙළඹවීම යන මූලධර්ම මත පිහිටා කටයුතු කරයි. නමුත් අද්‍යතන මාධ්‍ය සංදර්භය තුළ එය කෙමෙන් කෙමෙන් වියැකී ගොස් නව මාධ්‍ය ඇසුරින් ඔවුන් ලෝක ත්‍රස්තවාදය උදෙසා කටයුතු කරයි. ඒ සදහා ඔවුන් භාවිතා කරන්නේ Network නැතිනම් ජාලයන්ය. ඒ අනුව ත්‍රස්තවාදය ඇති කරමින් බලය හුවමාරු කර ගැනීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන අතර අපගේ තොරතුරු මගින් අපවද ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ දරයි. ඒ නිසා අපගේ ස්වාධීනත්වයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට බලපෑම් එල්ල වන බව කිවයුතුමය. මන්ද අප ස්වයං නියාමනයක් නොමැතිව අපගේ සියලු තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන අවස්ථාවල සෑම විටම එම තොරතුරු හරහා සිදුවන්නේ අපගේ තොරතුරු පිටතට ගලා යෑමකි. එය අපගේ පෞද්ගලිකත්වයට හානි පැමිණවීමකි. ඔබ නොදැනුවත්වම මෙම භූ දේශපාලනයට නතුව ඇත්තේ එ නිසාවෙනි. ජාලේශ්වරය තුළ මාධ්‍ය විශාලකරය මගින් සුලු ශාරීරික ප්‍රහාරයක් වුවත් ලෝකය පුරා ප්‍රසිද්ධ කිරීමට මෙම ජාලේශ්වරයට හැකියාව පවතී.

ජාලේශ්වරය නිසා සිදුවන්නේ අධිකතර තොරතුරු වසංගතයක් ඇති වීමයි. මේ තුළ තොරතුරු රණකාමයක් දැකිය හැකිය. තොරතුරු රණකාමය යනු තොරතුරු යුද්ධයට අවශ්‍ය ලෙස පාලනය කිරීමයි. මෙය සරල ක්‍රියාවලියක් නොව අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. මෙමගින් ත්‍රස්තවාදය උදෙසා විද්‍යුත් සහයෝගය, විද්‍යුත් ප්‍රහාර හා විද්‍යුත් ආකර්ශනය ලැබේ. තොරතුරු රණකාමය උදෙසා ආරක්ෂක, දේශපාලනික, රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි අරමුණු ප්‍රයෝග භාවිතයට ගැනීම සිදු වීම ලෝක බල දේශපාලනය තුළ ප්‍රබලවම දැකිය හැකිය. ජාලේශ්වරය තුළ දක්නට ලැබෙන මෙම තොරතුරු රණකාමය ප්‍රධාන ප්‍රභේද 03කින් යුක්තය. එනම්,

  1. ආක්‍රමණික
  2. ආරක්ෂණ
  3. උපයෝජනය හෙවත් සූරාකෑම

මෙහිදී ආක්‍රමණික යනුවෙන් හදුන්වන්නේ යහපත් තොරතුරු ප්‍රතික්ෂේප කිරීම, දුෂණය කිරීම හා විනාශ කිරීම සිදු කිරීමයි. ආරක්ෂණ යනු තම තමන් විසින්ම තොරතුරු ආරක්ෂා කිරීම හා මිත්‍ර පාක්ෂිකව තොරතුරු පිළිබදව සමාන ක්‍රියාකාරකම්වල යෙදීමයි. උපයෝජනය නැතිනම් සූරා කෑම යනු කාලානුරූපීව තොරතුරු සූරා කෑම, අන් අයගේ තීරණ වලට ප්‍රවේශ වී, ක්‍රියාකාරකම් කණ්ඩායම් වලට ප්‍රවේශ වී ඒවා සූරා කෑමයි. එමෙන්ම පසමිතුරු කණ්ඩායම් කඩාකප්පල් කිරීම යනාදිය මෙය යටතට ගැනේ. 

මේ ජාලේශ්වර ක්‍රියාකාරීත්වය හා පරිශීලක පරිභෝජනවාදය තුළ ඔබ නොදැනුවත්වම පරිශීලකයෙකු බවට පත්ව තිබේයැයි කිවහොත් මා නිවැරදිය. මක්නිසාදයත් සමාජ මාධ්‍ය තුළින් ඔබේ තොරතුරු ජාලගතකරණය හරහා ඔබේ හැදුනුම්පතේ සිට පෞද්ගලික දත්තයන් ස්ථාවරව රදා පවතී. නමුත් මෙහිදී පුද්ගලයන්ගේ සියලුම දත්ත පාලනාධීකාරිය සතු වෙයි. බිල් ගේට්ස්, සකර්බර්ග් වැනි අය එහි පෙරගමන්කරුවෝය. මෙම නිසාම අද වන විට සමස්ත වර්ගයාම පාලනය කරන යාන්ත්‍රණයක් නිර්මාණය වී ඇත. මෙම දත්ත ලෝක බල දේශපාලනය තුළ යම්කිසි යුද්ධයකට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට අවකාශය ද උදා වෙයි. ඒ සදහා මේ මූලික අඩිතාලම ලෙස ක්‍රියා කරයි. ඒ නිසාම ජාලේශ්වරය තුළ ඔබේ ස්වයං නියාමනය අත්‍යවශ්‍යය.

ජාලේශ්වර ක්‍රියාකාරීත්වය තුළ ක්‍රියාත්මක වන සයිබර් රණකාමය තුළදී අන්‍ය රටකට වුවත් ස්වෙච්ජාවෙන් තොරතුරු ක්‍රියාවලියට සහභාගී විය හැකිය. ඒ වගේම යම් ආක්‍රමණයකට සහාය දීමටත් හැකියාව පවතී. මේ ඔස්සේ ගොඩ නැගෙන අසත්‍ය තොරතුරු වුවත් ප්‍රතික්ෂේප කිරීමට ඔබට මට හැකියාව නැත. එමෙන්ම ජාලේශ්වරය අඩු වියදමකින් ප්‍රබල යුධ සන්නිවේදන බලයක් නිපදවිය හැකි වීමත් සයිබර් තොරතුරු ක්‍රියාදාමයේ ඇති එක් ප්‍රධාන වාසියකි. ජාලේශ්වර ක්‍රියාකාරීත්වයේ දී සයිබර් යුධ ක්‍රියාකාරකම් පිළිබදව කතා නොකරම බැහැ. සයිබර් යුද ක්‍රියාකාරකම්වල ඉලක්කය වන්නේ විශ්වය පුරා ඒ ඒ රටවල් සකසාගෙන ඇති මිලිටරි ජාලයන්ය. විශේෂයෙන්ම රාජ්‍ය ක්‍රම පද්ධති හා බැදෙන වෙබ් අඩවි, ඊ- කළමනාකරණය හා මූල්‍ය ආයතන, විදුලි සංදේශ ආයතන, ගෑස් හා තෙල් තැන්පතු, ප්‍රවාහන සේවා, හදිසි සේවා, ජල ප්‍රවාහන ක්‍රම හා විදුලි බලශක්ති ක්ෂේත්‍ර වැනි වැදගත් ආයතන ඉලක්ක කොට ගැනීම අතිශය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි.

ජාලේශ්වරය යනු සූක්ෂම මෙවලමකි. තම පාරිභෝගිකයා ගිලිහී යාමට නොදී රදවා තබා ගැනීම සදහා මෙය කටයුතු කරයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළට නව තාක්ෂණික ක්‍රම භාවිතයන් හා වෙනස්කම් හදුන්වා දෙමින් පරිශීලකයා රදවා තබා ගැනීමට උත්සාහ කරයි. පරිශීලකයා ද එයට නිතැතින්ම හසුවෙයි. මෙහිදී තාක්ෂණය පාලනය කරමින් ඒ හරහා ප්‍රාග්ධනය ගොඩ නැගීම හා පවත්වාගෙන යාම සිදු කරයි. ඒ අනුව පුද්ගලයාගේ සියලු කාර්යයන් පාලනය කිරීමට මේ ජාලේශ්වරය කටයුතු අරඹා ඇති අතර කොවිඩ්-19 වසංගතය ද හුදෙක් සෞඛ්‍යමය ප්‍රශ්නයක්ම නොව ජාලතන්ත්‍රවාදයේ හා ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසට දැක්වීම යෝග්‍යය.

 

ජාලේශ්කරණය තුළදී ඔබේ මාධ්‍ය නිදහස ඔබ නොදැනුවත්වම අහිමි කරමින් ඔබව චිපිකරණයට ලක් කර ඇත. පුද්ගල රහස්‍යබාවය අහිමි වීම මත අනාගතයේ ඔබේ ස්වාධීනත්වය අහිමි ප්‍රජාවගේ කුලකයට ඔබ නිතැතින්ම වැටෙනු ඇත. ඒනිසා පරිශීලක ඔබ ජාලේශ්වරය තුළ 

ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි ඔබම තීරණය කළ යුතු අතර ජාලකරණය තුළින් පැන යාමට කෙසේවත් ඔබට මට හැකියාව නොමැති බවද මතක තබා ගත යුතුය. එයට මුහුණ දීමට අනිවාර්යයෙන්ම සිදුවන අතර මේ තත්පරයේත් එය සිදුවෙමින් පවතින දෙයක් ලෙස අවසන ප්‍රත්‍යක්ෂ කළ හැකිය.

Top