‘නොමැරී ජීවත් වීමට’ දරුණු අරගලයක (575)

post-title

විශ්වාසයි ජීවිතයක් ශක්තිමත් කරනු ලබන්නේ. එය හුදෙක්ම හාස්‍යයක් නොව සත්‍ය වශයෙන්ම පිළිගත යුතු නමුත් පිළිනොගන්නකි. කෙසේනමුත් වර්ථමාන සමාජය තුළ විශ්වාසය යන්න ඇත්තේ කොතැනකදැයි යන්න විමසීම අතිශය අපහසු කාර්යයකි. අද වනවිට ජීවත්වීම යනු අරගලයක් කළ යුත්තකි, එය සිනිදු සළුපිළි මත රතු පාවඩ මැද ගලායන්නක් නොව අතිශය කටුක මෙන්ම වචනයෙන් විග්‍රහ කර නොහැකි අන්දමට ගැඹුරු කාරණාවකි. එමෙන්ම වර්ථමානයේ ලොවම පීඩා විදින වසංගත තත්ත්වයක් තුළ ජීවිතය ගෙවීම තවත් අසීරූ කරන්නකි. එසේ ප්‍රකාශ කරණුයේ ලෝකයට සාපේක්ෂව ලාංකික සමාජයේ හැඩගැස්ම වඩාත් දුර්වල හා නව විකල්පයක් සොයමින් සිටිනා බැවිනි.

වර්ථමාන වසංගත තත්ත්වය මත සැබැවින්ම ජීවිතය කටෝර වී ඇත්තේ කාහටද යන්න, මොහොතක අතීතාවර්ජනයක යෙදෙන කළ සරල පිළිතුර විය හැක්කේ මුළු ලෝකයටම යන්නයි. නමුත් එයද සත්‍ය ? සැබැවින්ම එය වඩාත් සංකීර්ණ විග්‍රහයකි. නමුත් ලාංකීය සමාජය දෙස බලන කළ එය යම්තාක් දුරකට සත්‍ය යැයි පිළිගත හැක. මක්නිසාදයත් ලාංකීක සමාජයේ වසංගතය දැනෙන්නේ 'බඩට' වීමයි. එසේ දැනෙන්නේ මෙරට පාලකයන්ගේ හැකියාවේ මහිමයෙන් වීමද නොරහසකි. එය හුදෙක්ම දේශපාලනික විග්‍රහයක් අවශ්‍ය කරුණකි. කෙසේ නමුත් සමාජයක සරල ලෙස ගතහොත් වසංගතයේ අමිහිරි බව දැනෙන්නේ ඇති හැකි අයට නොව නැති බැරි පීඩිතයන්ටය. පීඩිතයන්ද අපේ උන්මය, අපට දැනෙන බඩගින්න ඔවුන්ටද දැනෙන්නේය, මරණ බිය ඔවුන්ටද දැනෙන්නේය, ඔවුන්ද ජීවත් වීමට ඉහත කී විශ්වාසයක් තිබිය හැක. නමුත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් නැවත නැවත මතු කරන්නේ රටක, සමාජයක පීඩිතයන්ට සරණක් නැතිද යන්නයි. 

මෙරට වේල් තුනට එක් වේලක් පමණක් බඩගින්දර නිවා ගන්නා පවුල් කොපමණ ඇතිද, දරුවන්ට අධ්‍යාපනය දීමට නොහැකි දෙමාපියන් කෙතරම් ඇතිද, එමෙන්ම අධ්‍යාපනය ගැන විශ්වාසය නැති කරගෙන පවුලේ බඩගින්දර නිවන්න යන අපේම සහෝදරයන් සහෝදරියන් කොපමණ ඇතිද, රැකියාවක් නොමැතිව සිඟමනේ යෙදෙන අපේම උන් කොපමණ ඇතිද. මේවාද වසංගතයකි. කොරෝනා කෙදිනක හෝ නිමවිය හැක, නිම නොවුනත් පාලනයක් කරා පැමිණිය හැක, නමුත් ඉහත කාරණා නිමවන්නේ නැතිද ? පෙර සඳහන් කළ පරිදි විශ්වාසය තමන්ව ජීවත් කරයි එසේම බලාපොරොත්තුද අපව ජීවත් කරවයි. එසේනම් විශ්වාසය හා බලාපොරොත්තුව මොවුන්ටද ඇතිකරවීම අකැපද යන්න ප්‍රශ්නාර්ථයකි. කෙසේනමුත් රටක් සමාජයක් පිළිබඳව පූර්වනිගමනය කිරීමට නොහැක, එය නොකළ යුත්තකි නමුත් මෙරට අතීශය දුක්ගැහැට විදිනා පීඩිතයන්ගේ විමුක්තිය කවදාද යන්න අතීතයෙත් වර්ථමානයේත් පැනයන් වූවත් අනාගතයේ එයට විසඳුමක්අනිවාර්‍යයෙන්ම සෙවිය යුතුය. 

වර්ථමාන සමාජය, විශේෂයෙන්ම ලාංකීය සමාජය තුළ විවෘත මෙන්ම නිදහස් මනසක් ඇතැයි යන්න විවාදාත්මක කරුණකි. මක්නිසාදයත් විවිධ කරුණු හේතුවෙන් මිනිසාට සැබැවින්ම මානසික නිදහසක් ලැබීමට ඇති හැකියාව සීමා කර තිබෙනු පෙනීයන නිසාවෙනි. අප මානවයාගේ මුල්කාලීන යුගයන් දෙස අවධාණය යොමු කරන කළ ඔවුන්ට මහා මෙරක් උසට බලාපොරොත්තු, අවශ්‍යතා නොතිබුණා විය හැක. එදිනෙදා ආහාර සොයාගැනීමත්, තමන්ගේ ආරක්ෂාවත්, තම වර්ගයාගේ පැවැත්ම සහතික කිරීමත් පමණක් මූලික අවශ්‍යතා ලෙස හුවාදැක්විය හැක. කෙසේනමුත් වර්ථමානය වනවිට තාක්ෂණයේ දියුණුව, මානව ශිෂ්ටාචාරයේ විවිධ මාර්ග විවෘත වීමත් සමඟ මිනිසා බොහෝ දුරට සීමා වී මෙන්ම යම් ඒකාකාරී තරගයක නොයැලෙන බවට සැබැවින්ම පෙනීයයි. එබැවින් මෙම තරඟකාරීත්වය තුළ මිනිසාගේ මානසික නිදහස විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය යන්න සැළකිය යුතු පුළුල් විෂය ක්ෂේත්‍රයකි. 

මේ වනවිට මුලු ලෝකයේම පාහේ තම අණසක පතුරුවා සිටින කොරෝනා වසංගත තත්ත්වය සැබැවින්ම මිනිසාගේ ඉදිරි ගමන යම් පමාකිරීමකට ලක්කර තිබේ. එමෙන්ම මෙහිඳී විශේෂයෙන්ම අවධාණය යොමු කළයුතු කරුණු කීපයක් පවතී. එයින් ප්‍රධාන කරුණක් නම් මේ වසංගතයත් සමඟ නිවැස්වලට සිරවී සිටින මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳවයි. ලෝකය දෙස අවධාණය යොමු කිරීම අවශ්‍ය වූවත් මේ මොහොතේදී ලාංකීක සමාජයේ මානසික සෞඛ්‍ය කෙසේදැයි යම් සාකච්ඡාවක යෙදීම යෝග්‍ය යැයි හැගීයයි. ලාංකීකයන් ගෙවමින් සිටින්නේ වසංගත තත්ත්වයේ උච්චතම අවස්ථාවක් යැයි අර්ථගන්වා ගැනීම යෝග්‍ය වේ. එවැනි තත්ත්වයක් මත දිවයිනටම බලපැවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවක මෙරට ජනයා කෙතරම් මානසික පීඩාවකට ලක්විය හැකිද ? එමෙන්ම රෝගය සීග්‍රයෙන් පැතිරී යන කළ එම රෝගයට ගොදුරු වේයැයි යන්නද, දින දින ඉහළ යන්නාවූ මරණ මෙන්ම ආසාදිතයන් ප්‍රමාණයද දැඩි මානසික බලපෑමක් ගෙනනුවා නොඅනුමානය. තවද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන කළ "පොඩි මිනිහා"ට මේ නිරෝධායන ඇදිරි නීතිය කෙතරම් බලපාන්නේද යන්න අතීශය ගැඹුරු මෙන්ම විවිධ කෝණයන්ගෙන්ද විග්‍රහ කළ යුත්තකි. 

අතමිට හිඟ වනවිට, තම රැකියාව, ව්‍යාපාරය කරගැනීමට නොහැකිවන විට, දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයට පහසුකම් නැතිවන විට, දරුවන්ගේ බඩගින්න නිවාගැනීමට නොහැකිවන විට ඔවුන් කෙතරම් අසරණ වනවා ඇතිද ? එය කෙතරම් මානසිකව බලපානවා ඇතිද යන්න විශේෂයෙන් විග්‍රහ කළ යුත්තේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකිනි. එමෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය වාර්ථා කරන ඇතැම් සිඳුවීම් එනම් ළමා අපචාරයන්, ළමා මෙහෙකාර සේවයට යොදවා ගැනීම් වැනි විවිධ කරුණු ඔස්සේ හබායන කළ මෙරට කෙතරම් පීඩිතයන් පිරිසක් සිටිනවාද යන්න සැබැවින්ම දැකිය හැක. කෙසේනමුත් ඒ සියලුදේ පිළිබඳව කිසිදු පියවරක් නොගැනීමද අතීශය ඛේදනීය තත්ත්වයකි. සැබැවින්ම පෙනීයන්නේ මෙරට අධ්‍යාපනයට, සෞඛ්‍යට, බඩගින්න නිවාගැනීමට මෙන්ම සරල වදනින් ප්‍රකාශ කළහොත් නොමැරී ජීවත් වීමට දරුණු අරගලයක නිරත විය යුතු බවයි. එය ශාරරීකව පමණක් නොව වර්ථමානය වනවිට නම් මානසිකවද අරගල කළ යුතු බව මේ ඔස්සේ පෙනීයයි.

සමාජයක් තුළ ඉහත ප්‍රකාශ කලාක් මෙන් රතු පාවඩ මත ජීවිතය ගෙනයාම සැබැවින්ම ඉතාමත්ම අල්ප සම්භාවිතාවක් පවතින්නකි. නමුත් අරගල කරමින්, ජීවිතය හා ගැටෙමින් තමන්ගේ ජීවිතය මෙන්ම තම ප්‍රියයන් මේ මජර සමාජ ක්‍රමයෙන් ගළවා ගැනීමට අරගල කරන්නා සැබෑ විරුවෙකි. ඔහු කෙතරක් අරගල කරන්නේද යන්නටත් වඩා නොසැලී තම ගමනයෑම අගය කල යුතුයි සේම, සමාජය වෙනස් කළ යුතු, සමාජයක් නිර්මාණයක් නිර්මාණය කළ යුතුයි කියා හෘද සාක්ෂිය කියන්නාවුන්ද කොන්දේසි විරහිතව එකී තැලෙන පීඩීතයා වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එයයි ජීවන අරගලයේ යෙදෙන්නන්ගේ විමුක්තියට හොඳම මග. විශ්වාසය ඇති කරවිය යුතුය. සැබෑවටම විශ්වාසය නොමැති තැන කොතෙකුත් රුදිරය වැගිරුවද අනාගත ප්‍රගමනයක් මෙන්ම සමාජීය පීඩිතයන්ට විමුක්තියක් ගෙනදීමක් දැකිය නොහැක. 

විශ්වාසය මේ ගත කරන්නාවූ ප්‍රාග්ධන සමාජය තුළ කුඩුපට්ටම් කරඇති බවට හැගීයයි. නමුත් මනුශ්‍යත්වය ඇති, අනාගත සුබ සිහින දකින මෙන්ම වඩාත් සුබවාදී තරුණයන් මේ ක්‍රමයට විරුද්ධව ඔවුන්ගේ බුද්ධියේ මහිමය පෙන්විය යුතුය. එය හුදෙක්ම ලේ නොසෙල්වූ බුද්ධියේ විප්ලවයක් විය යුතුය. එකී බුද්ධියේ විප්ලවයක් කරා යාමට විශ්වාසය ඔබතුළ වර්ධනය විය යුතුය, පීඩිතයාට විශ්වාසය වර්ධනය විය යුතුය. සැබැවින්ම මෙලොව ආගමීක ප්‍රවේශයන්ට එහා ගිය නව මානුෂීය දහමක් ගොඩනැගිය යුතුය. සමාජය අද වසංගතයක් සමඟින් පොරබදින අතරම තවත් පිරිසක් තම මුලු ජීවිතයම මේ මහ පොළොවේ පොරබදන්නේ ජීවත් වීමටය. මේ ජීවත් වීමට අරුතක් ලැබිය යුතුය. එකී අරුත ලබා ගැනීමට නම් නිතැතින්ම ජීවිතය ගැන විශ්වාසයක් ඇති විය යුතුය. එසේම එයින් නොනැවතී සමාජය වෙනස් කළ යුතුයැයි විශ්වාසයක් ඇතිවිය යුතුය. තරුණයන් එම බුද්ධියේ මණ්ඩපය සකස් කරමින් පීඩිතයන් හටත් මතු පරපුරටත් විශ්වාසය ඇති කළ යුතුය.

අවසාන වශයෙන් ජීවිතයක් ශක්තිමත් කරණු ලබන්නේ ආර්ථීක ශක්තියෙන්වත්, ශරීර ශක්තියෙන්වත් නොව එය හුදෙක්ම විශ්වාසය මතය. විශ්වාසය ඇතිනම් ජීවිතය යන්න අතීශය සැහැල්ලු පිහාටුවක් වැනිය. එමෙන්ම විශ්වාසය ඇති කරමින් මේ සමාජ ක්‍රමයේ අරගල කරන්නන්ට තම ජීවිතයට ශක්තිය ලබාදීම ඔස්සේ ඔවුන්ගේ පීඩිත ජීවිතය වඩාත් සාධනීය ජීවිතයක් තුළට ගෙන ඒමට පෙළගැසිය යුතුය. එබැවින් අරගල කළ යුතුය සමාජ ප්‍රගමනයට, දූෂණයට වංචාවට විරුද්ධව, එසේමවඩාත් හිතකර සමාජයක් ගොඩනැගීම අන්‍යන්ට පැවරීමෙන් ඵලක් දැන් නැත.එසේම අප එකාවන්ව අපගේ සමාජය ගොඩනැගීමට අරගල කළ යුතුය එම අරගලය වඩාත් විශ්වාසවන්තව බුද්ධියේ අරගලයක් වීම යුගයේ අවශ්‍යතාවයකි.

Top