සුනිලා ගේ සුනිල හදවත නැවතුණි (571)

post-title

දසතින් හමන හුළගත් ගිනි අරං. මේ දවස්වල කාෂ්ඨකේට පායනවා. වැව්ගම්පත්තුවට කොහොමත් ඉස්සරාට එළඹෙන්නේ උග්‍ර නියගයෙන් පීඩාවට පත්වෙන දවස්. හැබැයි අප්‍රේල් මාසෙ බක් මහ අකුණක් එක්ක වැස්සක් වැටෙනවා. ඒත් ඒවා දිග් වැසි නෙවෙයි. ඒ බලාපොරොත්තු තිබ්බට මේ දවස් නම් කාෂ්ඨකයි. දූලි වලා දසත පාවෙන වියලි කර්කෂ හුළගත් ගේන්නෙ සැනසිල්ලක් නෙවෙයි. දවල් තිස්සෙ අව්කට්ටෙ අස්වැන්න නෙළන ගොවියොන්ට මේ දවස්වල රාත්‍රියටත් නින්දක් නැහැ. මේ වන අලි ගම් වදින දවස්. මේ දවස් වල රෑට අලි වෙඩි සද්ද හතර අතෙන් ඇහෙන එක දැන් පුරුද්දකට ගිහිං. හැම මිදුලක ම ගිනි මැල. අස්වැන්න රකින්න තාත්තලා රාත්‍රියේ පන්දම් අරං පාරට බහිද්දි දරුවොන්ගෙ ඇස්වල තියෙන්නෙ පුදුමාකාර බයක්. ඇත්ත.. සමහර වෙලාවට ඒ යන තාත්තා හෙට උදේට ගෙදර නො එන්න ඉඩ තියෙන බව දරුවොත් දන්නවා. ඒ නිසා මේ ගෙවෙන්නෙ ඇත්තට ම වැව් ගම්පත්තුවට බය දැනෙන රාත්‍රීන්. මේ බයම මීට කාලෙකට කලිං පැටිවියේ වින්ද අතීතයක් මටත් තියෙනවා. ඒ දවස්වල රාත්‍රීන් වලත් ශබ්ද ඇහුනා. ඒත් ඒ අලි වෙඩි නෙවෙයි. තුවක්කුවලින් තියා ගන්න වෙඩි. ඒ රාත්‍රීන් වලත් අපට ඒ මර බය දැනුනා. සමහර තාත්තලා ගමෙන් දුර නගරෙ රැකියා නිම වෙලා රාත්‍රියේ අවසාන බස් එකෙන් එනතුරු බලං උන්න දරුවොන්ට අහන්න ලැබුනෙ සෝචනීය කතාවක්. ඒ බෝම්බයකට හරි වෙඩි පහරකට හරි තාත්තාගේ ප්‍රාණය උදුරා ගත්ත කතාවක්. එදත් අද වගේ බිය දැනුනා. අදත් එදා වගේ බිය දැනෙනවා

‘‘මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ‘‘

(පද- සමුද්‍ර වෙත්තසිංහ)

පහුගිය කාලෙ පුරාවට ම තාත්තලා කී දෙනෙක් ගෙ නම් ජීවිත අලි උදුරා ගත්තා ද? ඒත් ඒ කිසිවකට සාධාරණ විසදුම් නැහැ. තාවකාලික පැලැස්තර විතරයි. කොහොමටත් ඉතින් ප්‍රශ්නය අනුන්ගේ වෙනකල් උත්තර දාර්ශනික වෙන එක ඔය බලය තියෙන ඇත්තොන්ටත් පොදු කියමනක්. 

කොහොම උනත් මේ මතකය එහෙම කතාවක් ගැන. සුනිලා කියන්නෙ හදවතම සුනිල් ගැහැනියක්. පූරුවේ පවකට ද මන්දා සුනිලාගේ සුනිල් හදවත් අදුර ගන්න බැරිවුන නිල් චිත්තරපට පිස්සෙක් අතින් සුනිලා අනාථ වුනේ ජීවිතේ යොවුන් මල් වියේ මයි. මහගෙදරට වෙලා අම්මා තාත්තා එක්ක තාත්තා නැති දරුවෙකුත් හදාගෙන සුනිලාට සිද්ධ වුනේ අසරණ වෙන්න. සුනිලාගේ තාත්තා ජයතිස්ස මාමා. ගමේ කවුරුත් එයාට කියුවේ ජයේ මාමා කියලා. ජීවිතය මොනතරම් සරදම් කරනවාද? ජයේ මාමා ජීවිතේ පැරදුනේ දවසක් රෑ පැල් රැකලා එනකොට අලියෙක් ගහලයි. ඒත් ජයේ මාමා ජීවිතේ අතෑරලා ගියේ නැහැ. සදාකාලික දුකක් එක්ක ඔත්පල වුනා. 

අන්තිමට සුනිලාට මුලු පවුලේ ම බර කරට ගන්න වුනා. සුනිලා තමන්ගේ පුංචි කිරිකැටියා අම්මා අතට බාර දීලා කැත්ත උදැල්ල අතට ගත්තා. ගමේ ගොඩක් දෙනෙක් සුනිලාට හයියක් වෙන්න ආවත් ඒ හයිය වීම කෙළවර කරන්න හිතුවේ රාත්‍රී වැල් ඇදක හයිය බලන්න අවශ්‍ය වීමකින් කියලා සුනිලා දැනං හිටියා. ඒ ගැන කලින් වතාවකත් රැවටුණ සුනිලාට අවබෝධයක් තිවුනා. 

‘‘දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

නුඹෙ අම්මා කිරට ගියා 

කිරි එරවා එන්න ගියා

කිරි මුට්ටිය ගගේ ගියා

ගගට උඩින් කොක්කු ගියා‘‘

සුනිලාගේ පැල්කොටෙන් ගොඩක් වෙලාවට ඇහුණෙ සුනිලාගේ අම්මා ගයන ඔය නැලවිල්ල. ඒ නැලවිල්ලට සුනිලාගේ පොඩි පැටියා නිදා ගත්තා. ඒත් ජයේ මාමාට නම් වැටුණු ඇදට වෙලා කල්පනා කරන්න සෑහෙන්න දේවල් තිබ්බා. 

එදත් හද පෑයුවෙ නැති දවසක්. අමාවක රැයක් කියලා සුනිලාට පැලට නොගිහින් ඉන්න විදියක් නැහැ. පහුගිය ටිකේ ම තනියා ඇවිත් හේන් කිහිපයකට වග කියලා තිබුණා. ඔත්පල වුන ජයේ මාමාගේ හයිය අරං සුනිලා එදත් පැලට ගියා. රාත්‍රිය පුරාවට පැල් රැකලා දැනුන මහන්සියටත් වඩා පොඩි එකා වෙනුවෙන් කිරි එරුණ ළැමේ කිරි බර දරාගන්න බැරි නිසා ම පාන්දර ඇදිරියේ ම හුලු අත්තකුත් පත්තු කරං ඇය ගෙදර එන්න ආවා. ඒත්... 

එළිය වැටිලත් ගෙදර ආවෙ නැති හින්දා සුනිලා හොයාගෙන දරුවත් ඔක්කෙ ගහගෙන ආව සුනිලාගේ අම්මා දැක්ක දසුන මට මෙතන ලියන්න හිතක් නැහැ. 

කිරි මුට්ටිය ගගේ ගියා 

ගගට උඩින් කොක්කු ගියා

Top