ලාංකේය ආහාර අර්බුදයට වගකිවයුත්තන් අපිමද? (540)

post-title

ලොව ධනවත් සහ බලවත් රටවල් පවා අර්බුදයට ඇඳ දමමින් මතු වූ අර්බුද අතර ආහාර අර්බුදය ඉහළින්ම පවතින්නකි. බලශක්ති අර්බුදය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ අර්බුදය සහ මූල්‍ය අර්බුදය යනාදී වූ අර්බුදයන්වලට පිළියම් සපයා ගැනීමට නොහැකිව සිටියදී මිනිසාට ආහාර අර්බුදයකට ද මුහුණ් දීමට සිදුවීම මඟින් සිදුවූයේ මිනිසාව කබලෙන් ලිපට වැටීමක් බඳු වූ තත්ත්වයකි. එහෙත් එය ක්ෂණිකව ඇතිවූවක් ද නොවේය.

වර්තමාන පාරිභෝගික ජීවන රටාව, මිනිස් වර්ගයා ඉතා ඉක්මනින් ආහාර අර්බුදයකට ඇඳ දමන්නකි. මිනිසා දෛනිකව මුහුණ දෙනු ලබන මෙම ආහාර අර්බුදය නොසලකා හැරිය නොහැකි ප්‍රධානතම අර්බුදයකි. නමුත් මේ භයානක ඉරණමට ප්‍රධාන හේතුව වන්නේ ආහාර බෙදීයාමේ අසමතුලිතතාවය ද? එසේත් නොමැතිනම් ශීඝ්‍රයෙන් වැඩිවන ඇති-නැති පරතරය හමුවේ ආහාර මිලදී ගැනීමේ නොහැකියාව ද? යන්න පිළිබඳව කාගේත් අවධානය යොමුවිය යුත්තකි. වැඩි වන ජනගහනයට අනුව ආහාර නිෂ්පාදනය කරනු ලැබූව ද, එයට සාපේක්ෂව වැඩි වන ඇති-නැති පරතරය හමුවේ බහුතරයකට ආහාරවල නියම වී පවතින ඉහළ මිල දරා ගැනීමේ හැකියාව ජයගත නොහැකි වී තිබේ. ඒ අනුව ධනේෂ්වරයේ තුන්වන කාර්තුව වන විට බහුතරයක් ජනයා සාගින්නේ ගොදුරු බවට පත්වී හමාරය.

සංවර්ධිත යැයි සලකන රටවල්වල වෙසෙන ජන කොටස් නිසා ද අද වන විට විශාල වශයෙන් මිනිසුන් පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී ඇත. සංවර්ධිත යැයි සම්මත රටවල අධි පෝෂණයක් පවතින අතර ආහාර අපතේ යාම ද එහිදී විශාල වශයෙන් සිදුවන්නකි. එමෙන්ම සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටවල් ප්‍රමාණයට වඩා ආහාර ගෙන අපතේ හැරීම ද වැඩි වශයෙන් සිදුකරනු ලබයි. තවද ඛණිජ තෙල් වැඩි කලක් නොපවතින බව සොයා ගැනීමත් සමඟම බලශක්තිය නිපදවීමට උක්, ධාන්‍ය වර්ග යොදාගෙන ඇති හෙයින් ඒ ඔස්සේ ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවේ. එසේම මස්, මාළු සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්වීම ද මේ සඳහා වක්‍රාකාරයෙන් බලපෑම් කරන තවත් එක් ප්‍රබල හේතුවකි. මෙසේ ආහාර හිඟවීම නිසාවෙන් ඒවායෙහි මිල ගණන් ද ශීඝ්‍ර ලෙස ඉහළ යාම සිදුවිය. මෙසේ ආහාර අර්බුදය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකේය මිනිසාට ආහාර වියදම දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇත. 

වර්තමානය වන විට ශ්‍රී ලාංකික වැඩිහිටියෙකුට සිය වැටුපෙන් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව එක්සත් රාජධානිය විසින් ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය මඟින් අනාවරණය කර ඇත. එහිදී ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට ආහාර සඳහා මාසික නිර්දේශිත අවම වියදම ඇමරිකානු ඩොලර් 161.23ක් වූ අතර, ශ්‍රී ලංකාවේ වැඩිහිටියෙකුගේ සාමාන්‍ය මාසික වැටුප එක්සත් ජනපද ඩොලර් 245.81ක් ලෙස සලකනු ලබයි. එහි ප්‍රතිශතය සියයට හැටහයකි. කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ සහ අවිධිමත් අංශයේ සේවකයන්ගේ සැබෑ වැටුප කප්පාදු වීම සහ පසුගිය මාස කිහිපය තුළදී රටේ ආහාර උද්ධමනය මෙම තත්ත්වයට හේතු වී තිබේ. එසේ ආහාර උද්ධමනය ඇතිවීමට බලපානු ලැබූයේ රට තුළ පවතින්නා වූ ආහාර අර්බුදයයි. එසේම මෙම වාර්තාව විසින් ශ්‍රී ලංකාව ආහාර වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස්වෙනි ස්ථානයට පත් වී ඇත. මෙම ශේණිගතකිරීම පදනම් වී ඇත්තේ රටවල් 107ක වැඩිහිටියෙකුට ආහාර සඳහා මාසිකව නිර්දේශ කරන අවම වියදම් සහ මාසික සාමාන්‍ය වැටුප සමඟ සංසන්දනය කරමින් ය.

මෙවැනි ඉරණමක් අප රටට අත්වීමට වගකිවයුත්තේ අපමය. ලාංකික මිනිසාගේ මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වියරු වැටී සිටින පාරිසරික, දේශගුණික තත්ත්වයන් හමුවේ රටට බත සපයන ගොවියාව දඩමීමා කරගත් මුදලට ගිජු පරජාතික සමාගම්හි උපායයන්, ආහාර නිසා අර්බුද ගණනාවක්ම රට තුළ ඇතිකර තිබේ. මෙහිදී ගොවිතැන කෘෂි වසවිස වටා භ්‍රමණය කරවා ගැනීමට කටයුතු කරන අතර උග්‍ර ආහාර අර්බුදයක් පෙනෙන මානයේය යන මිරිඟුව පසුපස සියල්ලන් මෙහෙයවන්නට ඒ පරජාතික සමාගම් කටයුතු කරමින් සිටියි. මේ හේතුවෙන් බටහිරීකරණය වූ ආහාර සංස්කෘතියක් සහ ආහාර විවිධත්වය පිළිබඳව මිනිසා සතුව පවතින ඥානය ගිලිහී යාමක් මෙකී ආහාර අර්බුදයේ පදනම සකසා තිබෙන බැව් නම් සත්‍යයකි. එහෙයින් අද වන විට අප සියළුදෙනාම ගෝලීය සාගින්නේ ද කොටස්කරුවන් වන්නේ ය. නමුත් එයින් මුදවා ගනිමින්, අතීතයේදී පෙරදිග ධාන්‍යාගාරය ලෙස ප්‍රකට වූ ශ්‍රී ලංකාව තුළ යළිත් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ප්‍රයත්න දැරීම වර්තමානයේ අප සැම සතුව පවතින යුතුකමක් මෙන්ම වගකීමක් ම වන්නේ ය.

Top