දරුවන් හා සමාජය (538)

post-title

සමාජයක අනාගතය තීරණය වන්නේ දරුවන් මතය. සමාජයක් සාරවත් වන්නේ දරුවන්ගේ උන්නතිය හා ඔවුන්ගේ ආරක්ෂාව මතය. මක්නිසාද ඔවුන් අනාගතයයි. කෙසේ නමුත් වර්ථමාන සමාජය එනම් විශේෂයෙන්ම ලංකා සමාජය තුළ සිදුවන සිදුවීම් තුලනය කල යුත්තේ දෙදාස් පන්සීයක ශිෂ්ඨාචාරය යන්න පසෙකලාය. දෙදාස් පන්සීයක ශිෂ්ඨාචාරයක්ද, සදාචාරයක් ද වැදගත් නැත. හුදෙක්ම වර්ථමාන සිඳුවීම් ගෝත්‍රික සමාජයන් හී වූවද සිදු නොවන බව සහතිකය. කෙසේ නමුත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමේ උත්සහයක හා ඒකායන අරමුණක් සහිත නූතන විප්ලවීය ප්‍රජාව මෙහිදි හඬ නැගීම සමාජීය වගකීමකි. 

සමාජය හුදෙක්ම වෙනස් වෙමින් පවතින ප්‍රපංචයකි. සමාජය වෙනස් වීමට අදාළව පුරවැසියන්ද වෙනස් විය යුතුය, එයයි සැබෑ වෙනස. කෙසේනමුත් වර්ථමානය වනවිට දැකිය හැක්කේ සමාජයක් ඉඳිරියට යාම පසුබැස සමාජ පරිහානියක් කරා යාමක් වැනිය. අතීත රජ දරුවන් හෝ දශක ගණනකට පෙර යුගයක් ලෙස නොව, අද සැබැවින්ම ඇත්තේ වෙනස්ම සමාජ ක්‍රමයකි. එය අර්ථික, සමාජීය, දේශපාලනික රැලි ඔස්සේ නවතාවයන්ට ලක්වෙමින් පිය නඟා ඇත. කෙසේ නමුත් අද වනවිට ශ්‍රී ලංකාව අවසන් හුස්ම හෙළීමට ආසන්නව ඇතැයි කීම අතිශයෝක්තියක් නොවන බැව් පැහැදිලිය. තවද දරුවන් උදෙසා සමාජීයම විග්‍රහයක් කරා නොයන්නේ නම් එය තවදුරටත් සිඳුකරනු ලබන්නේ පුරවැසි වඟකීම් පැහැර හැරීමක් වැනි බරපතල අපරාධයකි.

විවිධ සංඛ්‍යා ලේඛණ පෙන්වාදෙන ලෙස මෙරට දරුවන් කුමන හෝ ආකාරයකින් ශාරිරීක, මානසික වශයෙන් කෙළෙසීම සිදුවේ. දුර ඈතකට පියනැගීමට පෙර මෙරට පූර්ණ ලෙස රට වසා දැමීම නිසා මෙරට දරුවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ පැමිණිලි ළමා ආරක්ෂණ අධිකාරියට ලැබීම ඒ කාලසීමාව තුළ ශීග්‍රයෙන් වර්ධනය වූවා කියා වාර්ථා කරයි. කෙසේ නමුත් මේවා එක් උදාහරණයක් පමණකි. තවද ඉතිහාසය පුරාම සාක්ෂි දරන ළමා මෙහෙකාරකම් ඔස්සේ දරුවන්ගේ අයිතිවාසිකම් කෙතරම් කඩ වී ඇතිද ? ළමා ශ්‍රමය තුළ ගෘහස්ථ මෙහෙකාරකම් මෙන්ම ලිංගික සේවය උදෙසාද ළමුන් අලෙවි කිරීම විටින් විට සමාජයෙන් ඇසෙන්නේ රට කෙතරම් පිරිහී ඇතිදැයි නැවත සිතා බැලීමටයි. එමෙන්ම මෙරට අධ්‍යාපනය කෙතරම් දුරට ළමුන්ට හිමිවන්නේද යන්නත් අදවන විට විශේෂයෙන් මෙම වසංගත තත්ත්වයක් තුළ නැවත වරක් තුලනය කිරීමට සිඳුවේ. මක්නිසාදයත් සංචරණ සීමා හෙයින් පාසල් වසා තැබීමත් සමඟ ගුරුවරුන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට පෙළඹුනත් එය කෙතරම් දුරකට දරුවන්ව ආවරණය කරන්නෙද යන්න ප්‍රශ්නාර්ථයකි.එබැවින්හොර රහසේ ලොවට හොරා දරුවන්ගේ අයිතීන් අමු අමුවේ සමූල ඝාතනය වන අවස්ථා අප්‍රමාණව ඇතැයි තර්ක කල හැක.

මෙහිඳී සදහන් කල යුතු කරුණක් පවතී එනම්, මෙරට සේම ජාත්‍යන්තරයද දෙස බලන කල එය එතරම් සුබදායි නොවන බවය. ඊශ්‍රායෙල් පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් දරුවන් 63 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. මෙවැනි අභාග්‍ය සම්පන්න සිඳුවීම් ලාංකීකයන් වන අපගේ සිත තුළද ගැබ්ව ඇතැයි විශ්වාස කරමි. එය නැවත හාරා ඇවිස්සීම නොකල යුත්තකි. යුද්ධයක් යනු සැබැවින්ම එය සමාජයේ සෑම ස්ථරයකටම බලපාන්නාවූ ගැටලුවකි. මහත්මා ගාන්ධි තුමා විටක මෙසේ ප්‍රකාශ කරයි,

"අපි මේ ලෝකයේ සැබෑ සාමය ඉගැන්වීමට නම් සහ යුද්ධයට එරෙහිව සැබෑ යුද්ධයක් කිරීමට නම් අපට එය ආරම්භ කළ යුත්තේ දරුවන්ගෙනි" වශයෙන්.

සැබෑය, සැබෑ සාමය ඉගැන්වීමට නම් එය ආරම්භ කළ යුත්තේ දරුවන්ගෙනි, එමෙන්ම යුද්ධයට එරෙහි වීමට නම් එය සිඳු කළ යුත්තේද දරුවන්ගෙනි. දරුවන් අනාගතය යැයි පවසන්නේ හිතළුවකට නොව, එයයි සැබෑ අනාගතය.

සමාජයත් දරුවනුත් පිළිබඳ විග්‍රහ කරන කල එක්තරා කෝණයක් කරා විග්‍රහය සිඳුකිරීම අත්‍යාවශ්‍යය. එනම් මාධ්‍යයි. මාධ්‍ය සැබැවින්ම වර්ථමානය තුළ ගෘහස්ථව මෙන්ම පුද්ගලයාද ඩැහැගෙන හමාරය. මෙය දරුවන්ගේ කෝණයෙන් බලන කල එතරම් සුබදායක නොවේ. මාධ්‍ය වෙත කවරාකාරයෙන් හෝ අති විශාල බලයක් වර්ථමානය වනවිට ආරෝපණය වී ඇත.

ගැහැණියෙකු පිරිමියෙකු කිරීමටත් පිරිමියෙකු ගැහැණියෙකු කිරීමටත් නොහැකී යැයි පැවසූ විධායක ජනාධිපතිවරු සිටි රටක මාධ්‍යට අද එය කිරීම අතීශය සරල කාර්යකි.

කෙසේ නමුත් කරුණ නම් මාධ්‍ය සතුව අති විශාල බලයක් ඇති බවය. එක් කෝණයකින් බලන කළ මෙම මාධ්‍යන්හී ක්‍රියාවලිය එතරම් සුඳුසු නැතිවා කියා විවේචනයක් එල්ල කිරීම සාධාරණවේ. අද ඇත්තේ මුදල් විසින් පාලනය වන්නාවූ සමාජ ක්‍රමයකි. එය හොඳින්ම පැහැදිලි වන ප්‍රපංචයක් නම් මාධ්‍යයි. මාධ්‍ය ක්‍රියාවලියම ආයතනගත වී එකා පරයමින් තම මාධ්‍ය නාළිකාව උසස් කිරීමට වෙර දරන්නේ එක්තරා ආකාරයකට “අපි සැමදා සොමියේ ඉන්නවා” යන්න සමාජයට පෙන්වමිනි. ඔවුන් සොමියේ හිටියත් ඔවුන්ගේ මාධ්‍ය විකාශයන්ගෙන් සිඳුවන බලපෑම සමාජයට විශේෂයෙන්ම දරුවන්ට සිඳුවන බලපෑම පෙනෙන්නේ නැත්ද නැතිනම්යම් ස්වයංවින්දනයක් ලබන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය.

සමාජීය වගකීම දෝතදරාගෙන සිටින තරුණ ප්‍රජාවක් ලෙස මාධ්‍යන්ගේ ක්‍රියා අනුමත කිරීම සැමවිටම කළ නොහැක. විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමේදී ඔවුන් ගෙනෙනු රූපරාමු යොදාගැනීම වන්නේ හුදෙක් එම දරුවාගෙ අනන්‍යතාවය සමාජය වසන් කිරීමට නොව එය හෝදා හෝදා මඩේ දැමීමට මෙන්ය. අනෙක් ශෝකජනක කරුණ නම් නව ප්‍රවණතාවයන් සහිත සමාජ මාධ්‍යයි. තාක්ෂණයේ ආනුභාවයෙන් මෙතරම් දියුණු වූ මෙය සැබෑවටම දරුවන්ගේ කෝණයෙන් එක්තරා ලෙස නිරයේ ද්වාරයකට දක්කනවා වැනිය. වර්ථමානය වනවිට සමාජ මාධ්‍ය තුළින් සිඳුවන හිංසනයන් ප්‍රබල ලෙස වර්ධනය වී ඇතැයි පෙනීයයි. එබැවින්ම මෑත කාලයේ දරුවන් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ව ලිංගික ශ්‍රමිකයන් ලෙස විකිණීමද දැඩි ආන්දෝලනයකට ලක්වූ පුවතක් විය. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට මෙරට දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ පට 17 000කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාලය වෙත උඩුගත කර ඇතිබව පෙන්වාදෙයි. එයත්, ඛේදනීය කරුණ නම් එම සියලු දර්ශන හා ඡායාරූපයන් ජුනි හා ජූලි මස තුළ පමණක් උඩුගත වී පැවතීමයි. මේ කරුණ සම්බන්ධව මෙතැන් සිට පුරවැසි ඔබට සිතීමට ඉඩ වෙන්කර දෙමින් මෙසේ ප්‍රකාශ කරමි,

දරුවන් යනු අනාගතයයි, ඔවුන් රැකගත යුතුය, ඔවුන්ට මඟපෙන්විය යුතුය. දරුවන් විටෙක මහාරූස්ස ගස් වන්නේ ඒ මඟපෙන්වීම මතය.

 එමෙන්ම නීති සම්පාදකයන් මේ පිළිබඳ තම කුවේර ජීවිත වලින් පොළොවට සැපත්ව මහපොළොවේ යථාර්ථයන් පිළිබඳව සැළකීම අවශ්‍යය. එමෙන්ම මාධ්‍ය මහත්වරුන්ද වඩා සද්භාවයෙන් මෙම කරුණුපිළිබදව වින්දිත දරුවන්ට හානියක් නොවීමටත් මෙන්ම දරුවන් වින්දිතයන් නොවිය යුතුයැයි යන සදාචාරාත්මක කරුණ සිත්හී ධාරණය කරෙගනිමින් මාධ්‍ය මෙහෙයවීම රටට වැඩදායකය.

මෙරට රජයේ පාසල් 10,155ක සංඛ්‍යාවක් පවතින බව වාර්ථාවන් පෙන්වාදෙයි. නමුත් මෙරට පාසල් අධ්‍යාපනය ලබාගත නොහැකි දරුවන් පිළිබඳව තවමත් මාධ්‍ය ඔස්සේ පෙන්වාදෙයි. මෙයට හේතු දක්වනවා වෙනුවට මෙයට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය මක්නිසාදයත් අධ්‍යාපනය යනු අයිතියකි. එය සැමටම සමාන විය යුතුය. එක්තරා මාධ්‍ය වඩසටහනකින් උතුරේ දරුවන් තම පාසල් අධ්‍යාපනය අතරමග නතර කරමින් නිවසේ සිටිමින් වෙනත් රැකියාවක් හෝ ස්වයං රැකියාවක් කරන බැව් වාර්ථා කරණ ලදී. මේවා ගැටළු නොවේද ? සමාජය, ලංකා සමාජය ගත් කළ උතුර අයිති නැතිද ? ඊළාම්වාදීන්ට එය වෙනම රාජ්‍යයක් විය හැක. නමුත් ශ්‍රී ලාංකීක මා හට ඔවුන්ද මගේම සහෝදරයන්, සහෝදරියන්වේ. එසේම ඔබටත් එසේ විය යුතුය. තීරණය ඔබට භාරය. මක්නිසාදයත් දරුවන් යන්න භූමියකට, දේශයකට, ජාතියකට සීමා වීමක් නැති විශ්වීය මෙන්ම දිව්‍යමය ආශිර්වාදයක් බැවිනි.

අධ්‍යාපනය අයිතියක් නම් කෙසේද වීදි දරුවන් සිටින්නේ, මෙය කලක් සිට සිතෙහි කැකෑරෙන ගැටලුවකි. කිසිඳු හැකියාවක් නැතිද මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට, ඔවුන්ගේ තත්ත්වය ‍යම්තාක් දුරකට හෝ සංවර්ධනයට. දුකක් ඉතිරි කරමින් දකින සෑම අවස්ථාවකම ඔවුන්ව මට මගේ ජීවිතය පෙනේ. මක්නිසාදයත් අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රතිලාභ ලබා නිදහස් අධ්‍යාපනයේ පහස වින්දත්, විදි කොනේ පැටවුන් පහස විදිනා අධ්‍යාපනය කොහිද කියා මා වෙතින්ම ප්‍රශ්න කරන්නේ පවතින සමාජය යම්තාක් හෝ වෙනස් කිරීමට අවශ්‍යයැයි යනුවෙන් සිතමිනි.ඔවුන් පහස විදින්නේ විටෙක තෙල් තාච්චියක, කර්මාන්තශාලාවක හෝ විටෙක “අනේ මහත්තයෝ කීයක් හරි දෙන්න” යනුවෙන් විය හැක. ඔවුන්ට පුදන රුපියල් විස්ස මහමෙරක් විය හැක. නමුත් තවත් ආකාරටකට ඔවුන්ගෙන් එය උදුරා ගැනීමට මාන බලන දරුවන්ගේ හිඟන බොස් කෙනෙක් වූවද සිටිය හැක. අධ්‍යාපනය උතුරටත්, දකුණටත්, නගරයටත්, ගමටත් සමාන විය යුතුය. සැබෑය අප සිටින්නේ විෂම සමාජයක නමුත්, මෙම විෂම සමාජය මෙසේ දරුවන්ගේ අධ්‍යාපනයට හෝ නම්‍යශිලී වී සමාන අයිතියක් ලබාදෙන දිනය එළබෙන්නේද එඳින අප සැබැවින්ම නිදහස් ජාතියක් වීමට පළමු වෙඩිමුරය තබන්නේය.

දරුවන් හා පවතින සමාජය විග්‍රහ කරන කළ, දෙමාපියන්ගේ හා දරුවන්ගේ අන්තර් සම්බන්ධතාවය හා පවුලේ රැකවරණය අවැසිය. දරුවා යන්න සැබැවින්ම සෑම මොහොතකම ආදරය සොයන්නෙකු කියා පෞද්ගලිකව මා අර්ථගන්වා ගෙන ඇත. එහෙයින් දරුවන් හට ආදරය හා ඒ සමඟම ආරක්ෂාව ලබාදිය යුතුය. ළමා ආරක්ෂණය පිළිබඳව කතිකා කරනු ලබන මෙවැනි යුගයක සිඳුවන ළමා අපචාරයන් අති මහත් ලෙස ඉහළ ගොස් ඇතිබව පෙනීයයි. මෙය ශිෂ්ටවත්බවේ සංඛේතයක්ද නැතිනම් පරිහානියේ අනාවැකියක්ද යන්න පුරවැසියන් තීරණය කළ යුතුය. වැඩි වශයෙන් ළමා මෙහෙකාරකම උදෙසා දරුවන්ව අතරමැදියන් ඔස්සේ විකිණීම හා සේවයේ යෙදවීම වර්ථමානයේ දක්නට ලැබේ. එහි උච්ඡතම අවස්ථාව ලෙස දැරියක් ලිංගික අපයෝජයන්ට ලක්වී මිය යාම මානුෂීයත්වය ඇති හදවත් සසල කරන්නක් බැව් කිවයුතුය. කෙසේනමුත් එයට එනම්, මෙහෙකාරකමට දරුවන් පැමිණෙන්නේ කුමන හේතුවන් නිසාද යන්න විශ්ලේෂණය කරන කල සරල ලෙසම එයට හේතු වන්නේ පවුලේ ආර්ථීක තත්ත්වය යහපත් කරගැනීමටය.

දරුවෙකු පොත,පත දැනුම සොයා යායුතු කාලයේ එම දරුවන් සොයායන්නේ රැකියාවන් ය. මෙය කෙතරම් අභාග්‍යක්ද ?

මෙරට තත්ත්වය පමණැක් නොව ඉහත කී පරිදි දරුවන් යනු විශ්විය හා දිව්‍යමය ආශිර්වාදයකි එනම් මෙරට පමණක් නොව ලොව පුරා කුමන හෝ රටක දරිද්‍රතාවය නිසා දරුවන් රැකියා කිරීම, විටෙක තම නොමේරු දෙඅත් වලට දැරිය නොහැකි තරම් වැඩ කරනු ඇත. එසේම විටෙක ශ්‍රමයට ඔබ්බෙන් එම දරුවන් ලිංගික මෙවලම් ලෙසද කාමාශාවන් සන්සිදුවා ගැනීමට යොදාගන්නවා විය හැක. ශිෂ්ටසම්පන්න සමාජයක් අපේක්ෂා කරන්නන් ලෙස සැබැවින්ම දුකත් වේදනාවත් දරාගෙන ඔවුන්ට ආරක්ෂිත ලෝකයක් තුළ රිසිසේ දුවපැන යාමට අවකාශය සැකසීම වගකීමක් සහිත පුරවැසියන්ගේ වගකීමයි.එබැවින් මෙසේ විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කල මුත් මීට පරිභාහිරව තවත් කෝණයන්ගෙන් දරුවන් හා සමාජය පිළිබඳව විග්‍රහ කළ හැක. කෙසේනමුත් අවශ්‍ය වන්නේ අවසාන නිශ්චිත ඉලක්කයක් පමණයි. කුමක්ද යත් දරුවන්ගේ සුබසාධනය හා ඔවුන්ගේ ආරක්ෂාවත් සමාජීය ශිෂ්ටත්වයත් වර්ධනය කරමින් ඉදිරිගමන් යාමය.

අවසාන වශයෙන් නීති සම්පාදකයන්, රටේ ඉහළින් වැජබෙන කුවේරයන්ට හා පාලකයන්ගේ ඇස් ඇරේවා යන්න පාර්ථනා කරමින් පුරවැසි ඔබටත් එකාවන්ව සමාජයක් ගොඩනැගීමටත්, දරුවන් උදෙසා වඩාත් ආකර්ෂිත පරිසරයක් නිර්මාණයටත් කැපවෙමු කියා ආරාධනා කරමින් තාවකාලික විරාමයක් ලබා ගනිමි.

Top