වැඩිහිටියන් ලංසු තියෙන ළමා හීන මාෆියාව (447)

post-title

පුතා : මොනවාද අම්මේ අකුරු ජාතියක් මල්පෙතිවල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේවා ලියන්නේ 

පාට පාට ඉරි හැඩ ගහලා 

අම්මා : පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට

වනන්තරේ හරි වැඩ කෙරෙතී

බෝසත්වරු බණ කතා කියද්දී

වන දෙවඟනො මල්වල ලියතී 

 ළමා ගීත වල මොනතරම් අපූරු සංකල්පයන් ගොඩනැගිලා තියෙනවද බලන්න. 

ළමයෙක් ළපටි පැළයක් වගේ. බීජයකින් හටගන්නා පුංචි පැළෑටිය දිනෙක මහා වෘක්ෂයක්ව ඵල දරන්නට නම් බීජය රෝපණය කළ දා පටන් පරිස්සමෙන් රැකබලා ගත යුතුයි. ආරක්ෂා කළ යුතුයි.පුංචි පුංචි කෘමි සත්තුන්ගෙන් වගේම භෞතිකව බලපෑම් ඇතිවිය හැකි මහ හුඟක් දේවල් වලින් බීජය ළපටි පැළයක්ව ලියලලා වැඩෙන තෙක් ආරක්ෂා කළ යුතුයි.මේ පුංචි පැළය ඵල දරන මහා වෘක්ෂයක් වීමට කලියෙන් ලැබිය යුතූ පෝෂණය ළපටි පැළෑටියට හොඳින් ලැබිය යුතුමය.එවිටයි ශක්තිමත් මුදුන් මුලක් සහිත මහා වෘක්ෂයක්ව තනිව පෝෂණය වීමට හැකිවන්නේ. ළමයට මේ ආදේශනය අරන් බලන්න. ළදරුවා කියන බීජය ආරක්ෂා කරගන්නට බැරි උනොත් පැළෑටියක් හටගනීද? නෑ. මුලින්ම කළ යුත්තේ ආරක්ෂා කිරීමයි.ඉන් පසුව වැඩුණු පුංචි පැළෑටියට ළමයා සමාන කරන්න.පෝෂණය ලබා දිය යුත්තේ කවුද ? වැඩිහිටියන් වන අප. යහපත් සිතුවිලි , ගුණධර්ම , දැනුම, කුසලතා සහ ආධ්‍යාත්මික කරුණු කාරණා වලින් පෝෂණය වූ ළමයා කෙමෙන් කෙමෙන් වර්ධනය වී අවුරුදු ගණනාවක වැඩිහිටි ඔබේ කැපවීම මත මහා වෘක්ෂයක්ව නැඟී සිටී.මේ මහා වෘක්ෂය තාරුණ්‍යයට සමාන කළවිට ඔබට ඉන්පසු කිරීමට ඇත්තේ ඔබ නිර්මාණය කළ මහා වෘක්ෂය ඵල දරා වෘක්ෂයෙන් නිර්මාණය වන 

නිර්මාණයන් වල ඵලයන් භුක්ති විඳීමම පමණි.

නිර්මාණශීලි දරුවෙකු තැනීමට නම් වැඩිහිටියන්වන අපට සකපෝරුවට හුරුව ඇති ඉතා විශිෂ්ඨ කුඹල් සිත්තරෙකුගේ අත් ගුණය අවැසි වේ. අපිට සොභාදහම විසින් ලබාදුන් මැටි ගුලියෙන් විස්මිත නිර්මාණයක් කිරීමට නම් බාහිර සාධක ලෙස නිර්මාණය වන සියලුම සාධකයන් ප්‍රමාණවත් ලෙස ගනිමින් නිර්මාණය කළ යුතුව ඇත.නිර්මාණශීලිව දකිමින් වැඩිහිටියෙක් ලෙස ඔබ විසින් අඹා හැඩ වැඩ දමා නිර්මාණය කරන නිර්මාණය විස්මිත බඳුනක් කළ හැකි අත් ගුණය ඔබ සතුව තිබිය යුතුම කාලයයි මේ. යන්න ළමා ලෝකයට.ඔබට ලැබුණු නොලැබුන ඔබ ළමයෙකුව සිටි අවදියේ අත්විඳීමට ආශා කළ ඒ ලෝකය ඔබේ දරුවාට හෝ ලබාදෙන්න. 

ළපටි පැළයට ඔබ ලබාදෙන නිසි පෝෂණය කොතරම් විශිෂ්ඨ උවත් බාහිර සමාජයේ අනිසි බලපෑම් මත දූෂණය වී ඇති වායූ වල ඇති විෂ සහිත දේවල් වල ඇති අයහපත් දේ ඔබ නිර්මාණය කළ මහා වෘක්ෂයේ පැවැත්මට සෘජුවම බලපාන බව අවබෝධ කරගන්න. ළමයා නිර්මාණය කළ පමණින් අපේ වගකීම අහවර වන්නෙ නෑ.අපි සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ගමක මිලින නොවූ සුන්දරත්වය සහ නගරයේ මිලාන වූ කටුකත්වය යන වෙනස්ම පරිසර තත්ත්වයන් වල බලපෑම් මත නිර්මාණය වූ දරුවන් දෙදෙනෙකුගේ සිතුම් පැතුම් හා හැසිරීම් රටා එකිනෙකට වෙනස් වීමට බලපාන ප්‍රධානතම කරුණු වැඩිහිටියන් ලෙස කල්පනාකාරීව විමසා බලන්න කාලය එළඹ ඇත.

සමාජය , ලෝකය ගමන් කරන වේගයට යන්නන් වාලේ රැල්ලට නොයා ඔබ ඔබේ දරුවා සමඟ ඔබම නිර්මාණය කරගත් ලෝකයක ඇවිදගෙන යන්න.ඒ යන අතරමඟ දරුවාට ලෝකය ගැන කියලා දෙන්න. ගහකොළ හුස්ම ගන්න විදිය , මිදුලේ මවන රටාවලින් හිතේ සැනසීම හොයන්න, කුරුල්ලන් තාලෙට ගයන ගීතවලින් මැවෙන රටාවලට ඇහුම්කන්දෙන්න, ගඟක් බාධක සමඟ ගලා ගොස් අවසානයේ මහ මුහුද හා මුසුව යන අපූරුව ඔබේ දරුවාට කියලා දෙන්න.ඔබත් දරුවා හා තනිවෙන්න දරුවාගේ ලෝකය තුල. ඇහුම්කන්දෙන්න.ඔබේ නිර්මාණය ආරක්ෂා කරගන්න.

ඔබේ දරුවාට කියලා දෙන්න උගත්කම පොත පත්වල මෙන්ම මනුස්සකම තුළින්ද ගොඩනැගෙන වග.ඒ වගේම ඔබේ ආදරණීය දරුවා තුළ ඇති හැකියාවන් අන් කවරෙකුටත් වඩා ඔබ විශ්වාස කරන්න.ඒ විශ්වාසය තුළින් දරුවාගේ හීන ලෝකයට පන දී විශිෂ්ඨ නිර්මාණයක උරුමකරුවා ඔබම වන්න.

ගින්නෙන් අඳුර නිවාගත් අපි අද බල්බය සොයාගත් විශිෂ්ට මිනිසා නිසා විදුලි එළියෙන් මුළු ලෝකයක්ම එළිය කරනවා නේද ?ඒත් තෝමස් අල්වා එඩිසන් ළපටි පැළයක්ව නැගිටින්නට වෙර දරන අවධියේ පුංචි තෝමස්ගේ මව එදා නොහිටින්න බල්බය සොයාගත් විශිෂ්ට නාමය එඩිසන්ට නොලැබෙනු ඇත. 

දිනක් පුංචි තෝමස් අල්වා එඩිසන් පාසල නිමවී නිවසට පැමිණ තම මව අතට ලිපියක් දුන්නේය.තමන්ගේ ගුරුවරයා මෙම ලිපිය මව අතටම දීමට පැවසූ බව පුංචි එඩිසන් ලිපිය මව අත තැබීය.ඇය තම පුතුට ඇහෙන ලෙස ලිපිය කියවන විට එඩිසන්ගේ මවගේ දෙනෙතින් කඳුලු කඩා වැටුණි.

" ඔබේ දරුවා ඉතාමත් දක්ෂ දරුවෙක්. අපේ පාසල ඔබේ දරුවාගෙ දැනුමට ප්‍රමාණවත් මදි. එම නිසා දරුවා නිවසේ රඳවාගෙන උගන්වන්න " 

වසර ගණනාවක් ගතව එඩිසන්ගේ මව මිය ගියෙය.මේ වන විට එඩිසන් ලොවක් ප්‍රසිද්ධ වූ විද්‍යාඥයෙකි.දිනක් ඔහු පැරණි ලියවිලි පරික්ෂා කරන විට ලාච්චුව තුළ සැඟව තිබූ ලියමනක් හමුවිය.ඔහු එය ගෙන කියවා බැලීය.එහි මෙසේ සටහන්ව තිබුණි.

" ඔබේ පුතා අනුවණ ළමයෙක්. ඔහුව නැවත අපේ පාසලට එවා අපේ කාලය අපතේ යවන්න එපා " 

එදා මවගෙන් වැටුන කඳුලු වල බර එඩිසන්ට මේ ලියමන කියවා නිමවූ සැනින් පපුවට දැනුනි.

මේ ලියමන ගැන මුලින්ම කියවූ මට දැනුන සංවේදී සිතුවිල්ල අදටත් කියාදෙන අපූරු පාඩමක් තියෙනවා.විශිෂ්ට දරුවෙකු නිර්මාණය කිරීමට නම් දෙමව්පියන් සහ දරුවාට මුණගැහෙන ගුරුවරුන් අති විශිෂ්ට විය යුතුය.

දරුවන්ගේ මනස කියවන්න.ඒ හිත්වලට අහුම්කන්දෙන්න.කතාකරන්න ඉඩක් දෙන්න.අතේ ඇඟිලි පහම එක සමාන නොවෙන සුවිශේෂ සංකල්පය තුළින් ඔබ ඔබේ නිර්මාණය අමරණීය කරන්න.

ආදරණීය වැඩිහිටියනි. හති වැටුන සිස්ටම් එකෙන් බැට කන දරුවන් වෙනස් කරන්න අපි හැමෝම නවතිමු. කතා කරමු. අපි පුංචිත්තන්ගෙ ලෝකය ලස්සන කරමු

Top