ඔයාව ශක්තියක් බවට පත් කරලා මිනිස් වි‍ඥ්ඥාණයක් විදියට මේ ලෝකෙට එව්වා 10 වන කොටස (206 වන ලිපිය)

post-title

" මේ අහන්න, මගේ ඔළුවට ලොකූ බරක් තියාගෙන වැඩක් කරන්නෙ කොහොමද මං නිදහසේ. සමාවෙන්න. ඒත් ඒක මට කරන්න බැරි වෙයි. කොහොමටත් මේක කරන්න පුලුවන් ආවුරෝරා ජීවියෙක්ට විතරයිනෙ. මං හිතන්නෙ නෑ මට මේ වැඩේ කරන්න පුලුවන් කියලා..."  මායා දැඩි තීරණයකය. ඒ හමුවේ ජීවියා මදක් පසුබා යනු ඇයට පෙණිනි.

" හොඳයි මායා, මතක් කරන්න..’ තරු දිහා බලන් ඉන්න පුරුදු වුණේ මොන වයසෙදිද ඔයා ..? මතකද..? තරුවලට , රෑ අහසට ඇබ්බැහි වෙලා ඇස් පිය නොගහා බලන් හිටපු රැයවල් කීයක් ඔයාගෙ ජීවිතේ තියෙනව ද..?"

මොහු මේ අසන්නේ මොනවා විය හැකිද.? ඇය තරුවලට පෙම්බඳින්න පටන් ගත් වයසක් ඈට නිශ්චිතව මතක නැත.. කුඩා කල මැදියම් රැය එළඹෙන තුරුම සිය මහගෙදර මිදුලේ පසෙක වූ ගල් පොත්තක් මත හිඳ ගෙන අහස දෙස බලන් සිටි හැටි ඇයට මතකය...ඒ සෑමදිනම සිය මව හෝ පියා පැමිණ නිවසට යාමට කතා කරනා තෙක්ම ඇය සිටියේ පියවි ලොවෙහි නොවේ..එතරම්ම ඇගේ ලොවට තරු සමීප විය...වර්තමානයේද ඇය තරු දෙස බලන්නේ එවන්ම වූ හැඟීම් සමුදායක් සමඟිනි..අනන්ත විශ්වයේ කොතන හෝ තිබෙන ග්‍රහලොවක අප වන්ම ජීවීන් ඇතැයි ඇයට දැනී තිබුණේද වරක් දෙවරක් නොවේ.. මනසින් උසස් ජීවීන් කිසිවෙක් හෝ විශ්වයේ සිට තමා දෙස ද බලා සිටිනවා ඇතැයි ඇතැම්විට ඈ සිතුවාය...ඇගේ සමකාලීනයන් ඇගේ මේ පුරුදු උසුළු විසුළුවට ලක් කර ඇත්තේද වරක් දෙවරක් නොවේ...මේ සියලු කරදර ඇරඹීමට පෙර ඇගේ යෙහෙළිය ඈ සොයා පැමිණෙන විටද ඈ සිටියේ එළිමහනට වී රාත්‍රී අහස පිළිබඳ මෙවැනිම හැඟුම් සමුදායකය..තරු රටා අතර ඈ නිර්මාණය කළ බොහෝ කතා ඇත්තේය..ඇගේ ජීවිත කතාවේ දුක් දෝමනස්සයන් ද කාටත් වඩා කියා ඇත්තේ තරුවලට විය හැක..

" ඇති මායා ඔය..ඔයා අනික් දරුවන්ට වඩා තරු වලට ආස කළේ ඔයාට ඒ දේවල් සහජයෙන්ම උරුම වුණ උරුමයක් නිසා..ඔයා නොදැනුවත්වම හරි ඔයා පිටසක්වළ ජීවින් ගැන හීන මැව්වෙ ඒකත් ඔයාගෙ උරුමයේ කොටසක් නිසා..කොටින්ම කිව්වොත් මීට අවුරුදු ගණනාවකට කලින් ආවුරෝරාවරු හා පෘථිවි වාසීන් අතර ලොකු බැඳීමක් ඇති වුණා..ආධ්‍යාත්මික අතින්...අපේ ආ‍ධ්‍යාත්මික නායකයන් පෘථිවි වාසීන්ටත් උදව් උපකාර කරා..පිහිටක් වුණා..ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්න විවාහ වෙලා හුඟාක් කල් වෙලත් දරුවෙක් නැතුව වේදනාවෙන් පිහිටක් යදිද්දි අපේ ලෝකෙ හිටපු බලගතුම ආධ්‍යාත්මික නායකයා තීරණය කළා අනාගතය වෙනුවෙනුත් ඔයාගෙ දෙමව්පියන් වෙනුවෙනුත් ඔයාව පෘථිවියට එවන්න..ඔයාව ශක්තියක් බවට පත් කරලා මිනිස් වි‍ඥ්ඥාණයක් විදියට මේ ලෝකෙට එව්වා..ඒකෙ ප්‍රතිඵලය තමයි අද මේ අත්විඳින්නෙ..."

සියල්ලම පැහැදිලි නැතත් සෑහීමකට පත් වීමට තරම් පිළිතුරක් මායාට ඒ වනවිටත් ලැබී තිබිණි ...විශ්වාස කරනවාද නොකරනවාද යන්න පිළිබඳ තර්ක කිරීමට ශක්තියක් මායාගේ සිතට නැත..සියල්ල සිහිනයක කොටස් මෙනි..

" හරි, ඒක මං විශ්වාස කරන්නම්..මේ දේවල් මට තේරෙන්නෙ නම් නෑ ඒත්..කමක් නෑ...දැන් මං මොනවද කරන්න ඕන..??"

" මායා, මේ දේවල් සේරම හදන්න එක ක්‍රමයක් තියෙනව .. එක ගැළවුම්කාරයෙක් ඉන්නවා...

ඒ තමයි කාලය...."

" ඒ කිව්වෙ ?"

"කාලය තමයි ගැළවීම...අපේ ජීවිතවලට..අපේ ලෝකෙට.."

" සමාවෙන්න..මට තේරෙන්නෙ නෑ..පැහැදිලිව කියන්න පුලුවන් ද ඒ ගැන ?"

" මායා, මං හැමදේම දැක්කා..හැමදේම දන්නවා...ඔයාගේ භාෂාවෙන්ම තේරුම් කරන්නම් හැමදේම ... මේ හැමදේම පටන් ගත්තෙ ඔයාගෙ සොයාගැනීම එක්ක මායා..මේ කඳවුරේ මාව හිර කරලා තිබ්බා කියල කිව්වට ඇත්තටම එහෙම නෑ..මේකේ වෙන හැම දෙයක්ම කතාවෙන හැම රහසක්ම මං දන්නවා මායා..ඔයා ගැන මෙහෙට ආරංචි වුණ දවසෙ රහසිගත සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුණා මේක ඇතුළෙ..ඊටපස්සෙ මෙයාලා ඔයාව හෙව්වා..ඔයාව ලුහුබැද්දා...ඔයා කවුද මොන වගේ චරිතයක්ද කියලා අධ්‍යනයක් කරා...එතනදි තහවුරු නොවුණ එකම දේ තමයි ඔයා ඇත්තටම ප්‍රති පදාර්ථ නිපදෙව්වා කියන කාරණය...මෙතන ඉහළ පුටුවල කවුරුවත් ඒ කතාව විශ්වාස කරේම නෑ..ඒත් රජයෙන් කෙරුණ බල කිරීමට තමයි තීරණය කළේ ඔයාගේ පර්‍යේෂණාගාරයට කඩා වදින්න...එතනදි ඒ ප්‍රති පදාර්ථ සාම්පලය ඇත්තක් නම් ඔයාව පැහැරගන්න තමා සැලසුම වුණේ...ඒත් කාලය මදි නිසා එක්වරම ඒ දෙකම කරන්න අනුමත වුණා...

ඔයාගෙ නමට ඔයාගෙ යාලුවෙක්ට පාර්සලයක් එව්වා..ඔයාව ඒ ගැන හොයන්න යොමු කරා..කොටින්ම කිව්වොත් බොරු පණිවිඩයක් ව්‍යාජ කේත මේ හැමදේම එකතු කරලා හරි ලස්සන ප්‍රබන්ධයක් මැව්වා..ඔයා ඒ ගැන හොයද්දි නිර්ණාමිකව ඔයාට ලිපිගොනුවක් එවලා ඔයාගෙ අවධානය සීගිරියට යොමු කරා..ඔයාව එතනට ගෙන්නුවා..ඒක තමයි ප්ලෑන් එක වුණේ..ඒ දේවල් සිද්ධ වෙන්න ඇත්තෙත් ඒ විදියටම වෙන්න ඇති කියල මට විශ්වාසයි මායා..ඊට කලින් දවසෙ රෑ තමයි ශබ්දයේ වේගයෙන් පියාසර කරන යානයකින් මේ කඳවුරේ විශේෂ පුහුණුවක් ලබපු Airforce SEAL කණ්ඩායමක් ලංකාවට පිටත් වුණේ.. ඒකත් ඔයාඅගෙ අවධානය ගන්න පුලුවන් වෙන්න හිතාමතාම ඒ ප්‍රදේශයේ රේඩාර් එකකට සුළු මොහොතකට නිරාවරණය වෙලා ඒ ප්‍රදේශය ට ගොඩ බස්සවන්න තමයි උපදෙස් ලැබුණෙ.. අනුමානයක් නෑ එදා ඔයා එතන ඉද්දි ඔයාගෙ පර්‍යේෂණාගාරයෙන් ප්‍රති පදාර්ථ හොරකම් කරා අනිවාර්යයෙන් ම..එදා ඉඳන් අද වෙනකම් හැමදේම වුණේ මේ ඔයා මම ඉන්න #කාල #අවකාශයේ... ඔයාගෙ සොයාගැනීම මෙයාලා අතට පත් වුණේ නැත්තම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ මායා... තේරුණාද ඔයාට..ඔයාව මෙහාට ගෙනාවත් වැඩක් වෙන්නෙ නෑ.."

"ඒ කිව්වෙ ??" 

"ඒ කිව්වෙ මේ පදාර්ථ සාම්පලයම බොරුවක් නම් මේ කරන පර්‍යේෂණ සේරම බල රහිත වෙනවා මායා...තේරුණාද..?? දැන්වත් ඔයාට ..??

" නෑ..මට පැහැදිලි ව කියන්න පුලුවන් ද තව ටිකක්..." 

" මායා, මෙයාලා තාම මේ සාම්පල් එක ප්‍රායෝගිකව අත් හදා බැලුවෙ නෑ.. යානය පණ ගැන්නුවෙ නෑ තවම එක පාරක්වත්..ඔයාගෙ පර්‍යේෂණාගාරයෙන් ගෙනාව සාම්පලය තවම අර පරණ ලිපි ගොනු අස්සෙ තියෙනවා..හෙට තමයි යානය පණගන්වන්න එකපාරම යොදාගන්නෙ ඒක...ඔයා දැන් ලැබ් එක ඇතුළෙ අලුතින්ම ප්‍රති පදාර්ථ නිපදවන්න පටන් අරන් ඉවරයි..අන්න ඒ නිසයි එයාලා ඇත්තටම ඔයා ප්‍රති පදාර්ථ නිපදෙව්වා,මේ තියෙන්නෙ ඇත්ත සාම්පල් එකක්ම තමයි කියල විශ්වාස කරන්නෙ..."

" ඔව් ..ඒක තේරෙනවා මට...ඉතින් දැන් මොකක්ද කරන්න ඕන..අනික දැන් මන් නැතත් ඉතුරු ටික හදාගන්න Room 13 වල අය ට පුලුවන් වෙනවනෙ...."

" නෑ මායා නෑ...එතන අලුතින්ම නිපදවන්න තව කොච්චර කාලයක් ගත වෙනවද..?"

" අඩුම පැය දහයක් තව..උචිත පාරිසරික හා භෞතික තත්ව ලැබුණොත් ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය වැඩි වෙලා පැය අටෙන් වගේ ඉවර කරගන්නත් පුලුවන් ..."

" ඊට කලින් ඔයාගෙ සාම්පල් එකෙන් යානය අත් හදා බලන්න යන්නෙ මායා..එතන තමයි අපේ ගැළවීම..

"...... ?????? "

"තේරුණේ නෑ නේද ඒකත්...මායා,...සාම්පල් එක බොරුවක් කරමු අපි... එතකොට අත් හදාබැලීම අසාර්ථක වෙනවා..එතකොට.."

"...... - එතකොට Room 13 පර්‍යේෂණත් ඉබේම නවතිනවා..එහෙම නේද??"

"ඔව් ..ඒ විතරක් නෙමෙයි ..ඔයා අසාර්ථක නිපදවිමක් කරපු බොරුකාරියකුත් වෙනවා..."

මායා කල්පනා කළාය..කිසිවෙකුට හෝ හොඳක් වේ නම් අපහාස නින්දා ලැබුණාට කම් නැත..

" හරි, එහෙනම් යමු..ගිහින් සාම්පල් එක මාරු කරමු..." මායා අසුනෙන් නැඟී සිටියාය..

" නැඟිට්ටෙ කොහෙ යන්නද..??..අපි කොහෙවත් යන්නෙ නෑ මායා දැන්..ඔයාට තාම තේරිලා නෑ මං හිතන්නෙ..."

" මේ බලන්න...."

ලබන සතියට

Top