විවාහයක පැවැත්ම කියන්නේ හුදෙක් ආදරය පමණක්ම නොවේ ! (401)

විවාහයක පැවැත්ම කියන්නේ හුදෙක් ආදරය පමණක්ම නොවේ ! (401)

සෑම කාන්තාවක් විසින්ම නැරඹිය යුතු තෙලිඟු සිනමාපටයක් ලෙස Dirty Hari නම් කළ හැකිය. විවාහය , නූතන තරුණ පරම්පරාව පිළිගන්නා තරම් ඇත්තෙන්ම කිසිසේත්ම සරල හෝ සුන්දරත්වයෙන් පමණක් පිරුණු සංකල්පයක් නම් නොවේ. ඒ තුළ කාන්තාවට හිමි භූමිකාව පිරිමියෙක්ට වඩා මඳක් හෝ සුවිශේෂී වනවා. නමුත් එය හුදෙක් කාන්තාවට පමණක්ම හිමි වගකීමක්ද නොවනවා.

සාර්ථක විවාහ ජීවිතයක් කියන්නෙම කරුණු කාරණා කිහිපයකම සම්මිශ්‍රණයක්. ඒ තුළ ආදරය, අවබෝධය, විශ්වාසය මෙන්ම ලිංගිකත්වය කියන්නෙත් එක් ප්‍රධානතම කාරණාවක් වනවා. මේ එක් අංගයක හෝ කඩාවැටීමක් සිදු වූ සැනින් විවාහයක පැවැත්ම බොහෝ දුරට බිඳ වැටෙනවා.

බොහෝ දුරට විවාහයක් තුළදී එකිනෙකා මානසික වශයෙන් විවෘත නොවීම නිසා නොලැබෙන මානසික නිදහස, නිදහසේ එකිනෙකාව අවබෝධ කර නොගැනීම වැනි කරුණු නිසා අද වන විට බොහෝ අනියම් සම්බන්ධතා වලට යම් පදනමක් මේ විවාහ සංස්ථාව තුළින්ම ගොඩ නැගී තිබෙනවා.

Dirty Hari තෙලිඟු චිත්‍රපටය සියලූම කාන්තාවන් විසින් විවාහයකට ප්‍රථම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස මා දකින්නේ එතුළින් සමාජයට ලබා දී ඇති පණිවිඩය නිසා.

චිත්‍රපටයේ කතා නායකයා හරී. හරී කියන්නේ ගමේ ඉදන් කිසි දෙයක් නැතුව දියුණු වෙන්න බලාගෙන නගරයට එන කොල්ලෙක්. රස්සාව පොඩි ක්ලබ් එකක් ස්පෝර්ට් කෝච් කෙනෙක්. එතනින් හමුවන අහඹු නමුත් ජීවිතය වෙනස් කරන මිත්‍රත්වය ආකාශ්. සමාජ තත්ව දෙකක වුණත් ඒ මිත්‍රත්වය හරි ශක්තිමත්. 

ආකාශ් ගේ පුංචිගේ දුව වසූදා. සල්ලිකාර පවුලක එකම දුව. නිරහංකාර නිහතමානි චරිතයක්. ඉතින් ඒ හමුවීමෙන් පස්සේ හරී සහ වසූදා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. සල්ලිකාර පවුලක කෙල්ලෙක් සහ කිසිම දෙයක් නැති පවුලක කොල්ලෙක් විදිහට. නමුත් වසූදගේ නිහතමානී දෙමාපියන්ගෙන් වගේම ආකාශ්ගෙන් පවා ඒ සම්බන්ධතාවටයට කිසිදු බාධාවක් එල්ල වෙන් නෑ.

මේ අතරතුර කාලය තුළ හරීගේ ජීවිතේට තවත් අමුත්තියක් එකතු වෙනවා.ඒ ජැස්මින්.ආකාශ් ගේ නිළි පෙම්වතිය. හරී ඇයටත් ආසා කරනවා. ඉතින් නොසිතන මොහොතක මේ දෙන්නා අතර ලිංගික සම්බන්ධතාවයක්, අනික් සියල්ලන්ටම හොර රහසේ ගොඩනැගෙනවා.ඊටත් ටික කාලයකට පස්සේ ආකාශ් සහ ජස්මින් අතර තිබෙන ආදර සම්බන්ධතාව නොගැලපීම් මත බිද වැටෙනවා. මේ වෙනකොට අර අතේ සතේ නැතුව ආවා කොල්ලා වසූදා සමඟ විවාහ වෙලත් ඉවරයි.

ඉතින් කතාව ආරම්භ වන්නේ අහඹු හමුවීමකින් නැවත වතාවක් ජස්මින් , හරීට හමුවීමත් සමඟ....

අනියම් සම්බන්ධතා අද වන විට සමාජයේ අති බහුල කාරණාවක් වී තිබෙනවා. එයින් නොසිතූ විරූ තරම් ගැටලුවලට මුහුණ දීමට බොහෝ මිනිස්සුන්ට සිදුවනවා. චිත්‍රපටය තුළ මෙන්ම සාමාන්‍යය සමාජයේ පවා ඇතැම් අනියම් සම්බන්ධතා නිසා ජීවිත හානි පවා සිදුවීම අද වන විට අත්දැකීමට සිදු ව තිබෙනවා. එතුලින් බොහෝ විට පවුල් සංස්ථා බිද වැටීමක් ඊටත් පසුව සිදු වනවා.

අද වන විට විවාහයන් භෞතික සාධක මත පමණක් කර ගෙන සිදු වීමද මීට එක් කරුණක් වී තිබෙනවා.දෙදෙනා තුළ එකිනෙකා ගැන අවබෝධයක් නොමැති වීම, තමන්ගේ රුචි අරුචිකම් ප්‍රකාශ කර ගැනීමට තරම් වත් විවෘත භාවයක් දෙදෙනා අතර නොමැති වීම නිසා බොහෝ පුද්ගලයන් විවාහ ජීවිතයේදී නොලැබෙන හිස්තැන් පුරවා ගැනීම වෙනුවෙන් අනියම් සම්බන්ධතා වෙත ඇදී යනවා.

නමුත් එය හුදෙක් අනියම් සම්බන්ධතාවය වෙත ඇදී යන පුද්ගලයාගේම වැරැද්ද නොවන බව මේ චිත්‍රපටය විටෙක අපට පෙන්වා දෙනවා..

හරීගේ බිරිඳ වසූදා. ඇය කැපකීරීම් බොහොමයක් මැද්දේ දරුවෙක් අපේක්ෂාවෙන් සිටින සම්ප්‍රදායික බිරිඳක්.ඇයගෙන් ඔහු වෙත ඉටු නොවන ඇතැම් ශාරීරික අවශ්‍යතා වෙනුවෙනුයි හරී අනියම් බිරිඳක් වෙත ගමන් කරන්නේ.. ඒ බව ඔහු එක් තැනකදී සඳහන් කර සිටිනවා. මොන තරම් ආදරයෙන් පිරුණු බැඳීමක් වූවත් විවාහය තුළ අනිවාර්යයෙන්ම පැවතිය යුතු ලිංගිකත්වය කියන කාරණාව වසූදා තුළින් ගිලිහී ඇති බව පෙනෙනවා.

ඊටත් පසුව ජැස්මින්.හරීගේ අනියම් බිරිඳ.ඕනිම කාන්තාවක් තවත් පිරිමියෙක් හා බැදීමට පෙරාතුව ඔහුගේ ජීවිතයේ තවත් ගැහැනියක් සිටිනවාද යන්න අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු වනවා.තමන්ව හුදෙක් ශාරීරික අවශ්‍යතා වෙනුවෙන් පමණක් පාවිච්චි නොවීමට උපක්‍රමශීලීව ඇය කටයුතු කල යුතු වනවා.තවත් ගැහැනියකගේ සතුට බලාපොරොත්තු ඇය විසින් කිසිදාක විනාශ කල යුතු නොවනවා.තමා වෙනුවෙන් පමණක් හුදෙක් ආත්මාර්ථකාමී නොවී කටයුතු කල යුතු වනවා.

ඒ වගේම චිත්‍රපටයේ වසූදා තුළ හරී වෙනුවෙන් වූ ඉවසීම..ඔහුගෙන් සිදුවූ වැරදි තමන් තුළ පමණක් තබා ගෙන සමාජය ඉදිරියේ ඔහුව ආරක්ෂා කිරීම. බිරිඳක් තුළ තම ස්වාමියා කෙරේ පවා ඇති විය යුතු මව්වත්කම පෙන්නුම් කරන කාරණාවක් වනවා. හිමි විය යුතු දඩුවම සමාජයට හොරා ඔහු වෙත පමණක් ඇය ගෙන එනවා. විවාහ ජීවිතය තුළ පළමුවෙනි රණ්ඩුව ඇති කර නොගැනීමේ වගකීම ඇය සතු කර ගන්නවා.

මොන තරම් මිල මුදල් අතින් හරීට වඩා ඉහළ කාන්තාවක් වූවත් ඇය හරී කෙරෙහි දක්වන ස්වාමි භක්තිය මෙම චිත්‍රපටය තුළ හරි සියුම් ලෙස උද්දීපනය කොට තිබෙනවා.විවාහයේ සුන්දර අවධිය තුළ වූවත් ඊටත් පසුව වූවත් ඇය අනවශ්‍යය ලෙස ඔහු යටපත් කිරීමක් නොකිරීම ඒ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයේ සුන්දරත්වය තව තවත් ත්‍රීවු කොට තිබෙනවා.

ඉතින් අවසානයට රුචිරා සුරංගි ද අල්විස්ගේ දුවකගේ කඳුලු ග්‍රන්ථයේ කොටසක් මෙයට එක් කරනවා..

" දූ රැජිණක් වුණත් කසාදයෙන් පස්සේ ඔටුන්න බිම තියලා පවුල ගැන හිතන්න... "

ඉතින් ඒ වචන කිහිපය මතකයේ රඳවාගෙනම සිනමා පටය නරඹන්න. ඔබ උගත යුතු බොහෝ පාඩම් Dirty hari චිත්‍රපටය නුඹට උගන්නාවි.

Top