"ජර්මන් ප්‍රකාශනවාදයේ පළමු වෙඩිමුරය තැබු කැලිගාරි දොස්තර මහතාගේ පෙට්ටගම" (190 වන ලිපිය)

"ජර්මන් ප්‍රකාශනවාදයේ පළමු වෙඩිමුරය තැබු කැලිගාරි දොස්තර මහතාගේ පෙට්ටගම" (190 වන ලිපිය)

පළමු ලෝක මහා සංග්‍රාමයේ ආතතියෙන් වෙළී ගිය ජර්මනියේ සිනමාව හරහා මිනිස් සිතේ ඇති වන ඇසට නොපෙනෙන අන්ධකාරය රූපයට නැංවීමේ නව රටාවක් ගොඩ නැගිණ. එය හඳුන්වා දෙන ලද්දේ "ජර්මානු ප්‍රකාශනවාදය" යනුවෙනි. මෙම නව සිනමා ප්‍රවාහය ඇතිවන්නට මූලික පදනම වුයේ එවකට ජර්මනියේ සිනමාහල් දෙදහසක පමණ වැඩිමනක් තිරගත වූ ඇමරිකා, ප්‍රංශ, ඉතාලියානු, ඩෙන්මාර්ක් චිත්‍රපටයි. එහෙත් ඇමරිකාව සහ ප්‍රංශය තම රටවල ජර්මන් චිත්‍රපට තිරගත කිරීම තහනම් කර තිබුණි. මීට පිළියමක් ලෙස පැමිණි ජර්මන් ප්‍රකාශනවාදය යටතේ ඩෙක්ලා නම් බයිස්කෝප් සමාගමක සිටි අප්‍රසිද්ධ වු තිරරචකයන් දෙදෙනකුගේ අසාමාන්‍ය තිර පිටපතක් ඇසුරින් චිත්‍රපටයක් තැනීමට තීරණය කළේය. ඔවුන් දෙදෙනා නම් කාල් මේයර් සහ හාන්ස් ජනෝවිටිස් ය. මෙම තිර රචකයන් දෙදෙනාට අවශ්‍ය වූයේ චිත්‍රපටය අසාමාන්‍ය, ශෛලිගත ආකාරයකින් පිළිඹිබු කිරීමටයි. ඒ සඳහා පසුතල සැලසුම් ශිල්පීන් තිදෙනකු අනුයුක්ත කරනු ලැබී ය. ඒ අය නම් හර්මන් වෝම්, වෝල්ටර් රයිමාන් හා වෝල්ටර් රෝරිග් ය. චිත්‍රපටය ප්‍රකාශනවාදී ශෛලියකින් නිමැවිය යුතු බවට මෙකී සැලසුම් ශිල්පීහු යෝජනා කළහ. මෙම ප්‍රකාශනවාදී ශෛලිය 1910 පමණ ආරම්භ වූ අතර එය පිළිවෙලින් චිත්‍ර ශිල්පයට, වේදිකා නාට්‍ය, සාහිත්‍යය හා ගෘහ නිර්මාණ ශිල්පය වෙත කාන්දු විය. එකී ශෛලිය සිනමාව සඳහා ද අත්හදා බැලීමට සමාගම තීරණය කර තිබිණි. එයට හේතු වූයේ ප්‍රකාශනවාදී ශෛලියේ චිත්‍රපටයක් අන්තර් ජාතික වශයෙන් ජනප්‍රියත්වයට පත්වේ යැයි ඔවුන් අනුමාන කළ බැවිනි. 

මෙහි අරමුණ වූයේ මානව චිත්තවේග කලාත්මක ලෙස සම්ප්‍රේෂණය කිරීමයි. මෙහි පුරෝගාමින් වශයෙන් වින්සන්ට් වැන්ගොහ්, එඞ්වඞ් මන්ච් ආදීන් පෙන්වාදිය හැකිය. බොහෝ විට මෙම කතාවලට තේමා වී තිබුනේ අස්වාභාවික දේවල්ය. මෙම සිනමා ශෛලියට අයත් වැදගත් මෙන් ම පළමු චිත්‍රපටය වන්නේ අඩු වියදමකින් නිෂ්පාදනය කළ Robert Wien අධ්‍යක්ෂණය කරන ලද "The Cabinet Of Dr. Caligari" චිත්‍රපටයයි. මෙලෙස ජර්මන් ප්‍රකාශනවාදයේ පළමු වෙඩිමුරය වු මෙම චිත්‍රපටය ඇමරිකාව, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක ජනප්‍රියත්වයට පත්විය. මරණය, දුෂ්ටත්වය, ඉරණම, අපරිපාටිකත්වය වැනි මාතෘකා වටා ගෙතුනු කතාවලින් ප්‍රකාශනවාදී චිත්‍රපට බිහි විය. 

දොස්තර කැලිගාරීගේ පෙට්ටගම නොහොත් "The Cabinet Of Dr.Caligari සිනමාපටයෙ හි තිරරචනය ලියනු ලැබුවේ හාන්ස් ජැනොවිට්ස් සහ කාල් මේයර් විසිනි. ජැනොවිට්ස් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ නිලධාරියෙකු ලෙස සේවය කළ නමුත් එම අත්දැකීම් නිසා ඔහු හමුදාවට බැඳී සිටියේය. මේ යුධ අත්දැකීම් ඔහුගේ ලිවීමට බලපෑවේය. යුධ සමයේ දී හමුදා සේවය අතරතුර දි ඔහුගේ මානසික ව්‍යාකුලබව හේතුවෙන් හමුදා මනෝචිකිත්සකයෙකුගේ දැඩි පරීක්‍ෂණයකට යොමු කළේය. මෙම අත්දැකීම නිසා ඔහුට යුධ අධිකාරය කෙරෙහි අවිශ්වාසයක් ඇති විය. මේ අත්දැකීම් මනෝචිකිත්සකයා වු කැලිගරි චරිතයට ආදර්ශයක් වූ බව ජැනොවිටිස් පවසා ඇත.  

"The Cabinet Of Dr.Caligari සිනමාපටය තුළ පසුබිම් නිර්මාණකරුවන් ස්වභාවික දර්ශනතල වෙනුවට මනඃකල්පිත, ග්‍රැෆික් දෘශ්‍ය ශෛලියක් රැගත් පසුබිම් නිර්මාණ කළහ. කැන්වස් රෙදි මත පින්තාරු කරන ලද විකෘති නගර දර්ශන මෙයට ඇතුළත් විය. මෙසේ පින්තාරු කළ කැන්වස් දර්ශන තලයන් තුළ ඝණිකවාදී චිත්‍ර ශෛලිය සහ වියුක්තවාදි චිත්‍ර ශෛලිය හොඳාකාරවම දකින්නට පිලිවන් ය. මන්දයත් සිනමාපටයේ සැලසුම් ශිල්පි වෝමි කියා සිටියේ චිත්‍රපට රූපය ග්‍රැෆික් චිත්‍රයක් මෙන් විය යුතු බවයි. කැලිගාරී චිත්‍රපටය චලනයවන ප්‍රකාශනවාදී චිත්‍රයක් වැන්න. ජර්මන් ප්‍රකාශනවාදී චිත්‍රපට බොහෝමයක් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් නම් 'මිසෝන් - සේන්' ශිල්ප ක්‍රමය බහුලව යොදා ගැනීමයි. නළු නිළියන් අසාමාන්‍ය ලෙස වෙස් ගන්වා තිබුනු අතර,ඔවුන්ගේ ඉරියව් පවා තාත්වික බවින් ඉහළ ය. පසුතලයේ හැඩතල පවා අස්වාභාවික හැඩ සමඟ චරිත හා මුසුවෙයි. 

කැලිගාරී චිත්‍රපටය තුළින් පිළිඹිබු වන්නේ මානසික රෝගියකුගේ දෘෂ්ටි කෝණය කෙසේද යන්න පිළිබඳවයි. අප නිරතුරුවම වීරයාගේ දෘෂ්ටියෙන් ලෝකය දෙස බලන්නට තැත් කරන අතර, මෙහි ලා මානසික රෝගියෙකුගේ දෘෂ්ටියෙන් ලෝකය දෙස බලන්නට තැත් කරයි. සිනමාපටයෙ හි සිසේරිය නම් චරිතය කැලිගාරී දොස්තර මහතාගේ මෝහනයට ගොදුරු වූ තැනැත්තා ද වේ. සිසේරියන් චරිතය පීඩා කරන්නෙකු සහ ගොදුරක් ලෙස සේවය කරයි, මන්ද ඔහු මිනීමරුවෙකු මෙන්ම පීඩාකාරී ස්වාමියාගේ අකමැති වහලෙකි. සිනමාපටයෙ හි සිසේරියන් නම් අභූතරූපි චරිතය හොලිවුඩයේ නිපද වු ඩ්‍රැකියුලා, ෆ්‍රැන්ක්ස්ටයින් වැනි භීම චිත්‍රපට කෙරෙහිද බලපෑවේ ය. අඳුරු හා සෙවනැලි දෘශ්‍ය ශෛලිය, ශෛලීගත හා වියුක්ත ඡායාරූපකරණය සහ විකෘති හා ප්‍රකාශන වේශ නිරූපණය සහ රංගනය යන ප්‍රකාශන අංග කිහිපයක් යොදා ගනිමින් නිර්මාණය වු "The Cabinet Of Dr. Caligari" යනු ලොව එතෙක් මෙතෙක් බිහි වු විශිෂ්ටතම සිනමාපට අතර තවවන තුරුත් ඉහළින් වැජඹෙන්නෙකි. 

Top