මරණයට වඩා චෙරි ඵල රසවත් ද? (152 වන ලිපිය)

මරණයට වඩා චෙරි ඵල රසවත් ද? (152 වන ලිපිය)

සිනමා ප්‍රේක්ෂකයන් විදියට අප නිරතුරුවම අවධානය යොමු කරන්නෙ බටහිර සිනමාව දෙසට ය. එය රූපමය වශයෙන් යහපත් නමුත් භාෂාත්මක බවින් ගුණය අඩු ය. බටහිර සිනමාව යහපත් නමුත් ඊට වඩා යහපත් සිනමාවන් බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන්නට ආසියානු සිනමාකරුවන් සැමවිටම වෙහෙසෙති. ඒ අතර අබ්බාස් කියාරොස්තමිගේ ඉරානියානු සිනමාව මෙහිදි සුවිශේෂී වෙයි. එහිදි 1997 දී නිර්මිත කියාරොස්තමිගේ "Taste Of Cherry" වෙත විශේෂ අවධානයක් යොමුකරන්නට කැමැත්තෙමි.

'Taste Of Cherry' සිනමාපටයට 1997 කෑන්ස් සිනමා උළෙලේ හොඳම විදේශ චිත්‍රපටයට හිමි සමිමානය හිමි විය. කියාරොස්තමි යනු සෙලියුලයිඩ් කවියෙක් ය. ඔහුගේ සෙලියුලයිඩි කවි ජපන් හයිකු මෙනි. කියාරොස්තමිගේ "Taste Of Cherry" කාව්‍ය තුළ ඔහු ප්‍රේක්ෂකයාට විවර කරනුයේ මරණයට යටත් වීම පිළිබඳ ප්‍රත්‍ය වේක්ෂණයන් ය. අබ්බාස් කියාරොස්තමිගේ 'මරණීය සිනමාව' තුළ එකම සිනමාපටය " Taste Of Cherry" නොවේ. 'The Wind Carry us'(1989), aka - kokar(1990) වැනි සිනමාපටයන් හරහා කියාරොස්තමි ආමන්ත්‍රණය කරනුයේ ද මරණයට ය. "Taste Of Cherry" පැයකුත් විනාඩි තිස්නවයක් පුරාවටම පරදුවට තබන්නෙ මරණය ම නොව මරණයට යටත් බව ය. එය ආරම්භයේ සිටම මන්දගාමීව ගලා යන ඒකරේඛිය කතා ආඛ්‍යානයකින් සමන්විත චිත්‍රපටයකි.

සිනමාපටයෙහි කතා නායකයා වූ බාදි මහතා තම රේන්ජ් රෝවර් රථය ඉරාන ශිෂ්ටාචාරයේ අද්දර පිහිටියා වූ ටෙහෙරානයේ ගම්බද පෙදෙසක් වෙත පදවමින් සිටී. ඔහු හොඳින් හැඳ පැළඳ සිටින අතර, මධ්‍යම පාංතිකයකු බව පෙනෙයි. ඔහු සමඟ බැඳි රැහන් පටක් මෙන් අප ද බාදිගේ පසුපස හඹා යයි. සිනමාපටය ආරම්භ වන්නේ බාදි විසින් විනාඩි කිහිපයක් තිස්සේ අරමුණකින් තොරව වාහනය පදවාගෙන යන දර්ශනයකිනි. ඔහු ඇතැම්විට වාහනය මොහොතක් නවත්වා මාර්ගයේ ගමන් කරන මිනිසුන් කිහිප දෙනෙක් සමඟ සල්ලාපයේ යෙදෙති. මාර්ගයේ ගමන් කරන්නෙ බොහෝ විට කම්කරුවන්, ගැමියන් යනාදින් ය. කිසිදු වෙහෙසකර තත්ත්වයකින් තොරව බාදි මාර්ගයේ ඉදිරියට ඇදෙයි. වටපිට බලයි. මිනිසුන් දෙස උපේක්ෂාසහගතව නිරික්ෂණය කරයි.

ඔහුගේ අරමුණ කුමක්ද යන්න හරි හැටි ප්‍රේක්ෂකයෙ නොවැටහෙනමුත් ඔහුගේ දෑස්වලින් කියන දෙයක් තිබෙයි. ඒ අතෘප්තියෙන් වෙළෙන ආශාවක් සහිත අපේක්ෂාභංගත්වයකි. මේ අතරතුර බාදිට මගියන් තිදෙනකු මුණ ගැසෙයි. එක් අයෙක් තරුණ කුර්දි සොල්දාදුවෙකි. දෙවැන්නා ඇෆ්ගන් පූජකයෙකි. තුන්වැන්නා අසර්බයිජාන් කලාපයෙන් පැමිණි කෞතුකාගාරයක සේවය කරන සත්ව හම් පුරවා සකස්කරන්නෙකි. බාදි මොවුන් තිදෙනා සමඟ කතාබස් කරනුයේ සියදිවි නසා ගැනීම පිළිබඳව ය. බාදි ඉල්ලා සිටිනුයේ තමන් සියදිවි හානිකරගත් පසු මහපොළොවෙහි මිහිදන් කරන ලෙස ය. ඒ ඉල්ලීම මුල් ද්විත්වය විසින්ම ප්‍රතික්ෂේප කරන අතර, තුන්වැන්නා පමණක් බාදිගේ කර්තව්‍යයට සහය දක්වන්නට කැමති බව පවසයි.

සිනමාපටයේ සැබෑ අර්ථය ජනිත වනුයේ තුන්වැන්නාගේ කතන්දරයෙන් අනතුරුව ය. ඔහු පවසන්නේ තමන් සියදිවි නසාගන්නට සිතු නමුත්, චෙරිවල රස බැලීමෙන් අනතුරුව එම අදහස අත්හැර දැමු බවයි. බාදි මෙම තුන්වැන්නා කෙරෙහි මඳක් විපිළිසර වෙයි. ඔහු කෙරෙහි විශ්වාසය තබයි. නමුත් කුර්දි තරුණ සොල්දාදුවා සහ පූජකයා සේම තුන්වැන්නා ද බාදිගේ මරණය වළක්වන්නා වෙයි. ඔහුගේ පසුබිමින් කිසිවිටකත් මරණයට සහය දෙනබවක් නොපෙනෙයි. ඔහු සත්ව හම් පුරවන්නෙකි. මියගිය සත්ත්වයන් සජීවි අයුරින් සත්ව හම් තුළට ජීවය කැවීම සිදු කරයි. ඔහු මරණය වළකාලන පුද්ගලයෙකි. සියදිවි නසාගැනීම ආගමානුකූලව පාපයකි. එය බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාමි ත්‍රිවිද ආගම් තුළ පාපයට අයත් ක්‍රියාවක් බව පෙන්වා දෙති. මරණය යන අකුරු සතර පවා ඇසීමට කිසිවකුත් කැමති නැත.

බාදිගේ චරිතය වෙනුවෙන් අපුරු රංගන ප්‍රතිභාවක් පෙන්වන්නට හුමායන් එර්ෂාදි සමත් ය. කියාරොස්තමි චිත්‍රපටය තුළ දිගු රූප සහ සමීප රූප ඇසුරින් චිත්‍රපටයේ රූප හරඹයක් සිදු කරයි. සරත් සමයේ කහ ගැසුණු උදාසීන පාළු භූමි දර්ශනය මඟින් බාදිගේ මනෝභාවය ප්‍රතීයමාන කරවයි. බැකෝ යන්ත්‍රවලින් කණින පස් කඳු, පොළොව මඟින් මරණයේ අවසානය මහපොළොව බව සංකේතවත් වෙයි. ඔහුගේ මානසික ගැටලුව ඒක වර්ණික භූමි වර්ණ සාත්තුව මනාව ඉවහල් වී ඇත.

මරණය පිළිබඳ මනුෂ්‍ය සත්තාව කෙරෙහි ඇති ප්‍රතිචාරය කියාරොස්තමි අපූරුවට ප්‍රේක්ෂකයා වෙත සමීප කරයි. සියදිවි නසා ගැනීම ආගමානුකූලව සහ අවිඥනයේ තැන්පත්ව ඇති අදහස් කලාප චිත්‍රපටය හරහා විවරණය වෙයි. සියදිවි නසා ගැනීම යන කාරණාවට වඩා මරණයට ඇති බිය පිළිබඳව කියාරොස්තමි ප්‍රශ්න කරයි. සියදිවි නසාගැනීමට කවරු නම් පොළඹවයිද? බාදිගේ සුවදායී මරණය වෙනුවෙන් කවුරු නමි උපකාර කරයිද? මරණය යනු ජීවිතයට නිශ්චිත පැහැදිලි කිරීමක්, අර්ථයක් ජනිත කරලන්නක් මිස අසුබවාදී දෙයක් නොවෙයි. මරණය තුළ ජීවත් වීම තුළින් කියාරොස්තමි අපේක්ෂා කරනුයේ වරදකාරීබව තුළ ඇති ශූණ්‍යත්වයයි. මරණය යනු අප සැවොම පොදුවේ මුහුණ දෙන නිමේෂයකි. මරණය ප්‍රමෝදය සහ ආශාව තුළ බාදිට සහයවන්නට කිසිවෙකු සිටිත් ද? විසිඑක්වෙනි සියවසේ දී මුදලට සිදුකිරීමට අයවලුන් නම ඕනැතරම් සිටිය හැකි ය. මිහිරි චෙරි ඵලවල මිහිර රස තරම් ජීවිතය රසවත් ද? මරණය එතරම් රසවත් නැත. කියාරොස්තමි 'Taste Of Cherry' චිත්‍රපටය තුළින් පවසන්නට යත්න දරන්නෙ එයයි.

Top