නිසල ගනුදෙනුකරුවන් හරහා තඹුත්තේගමට - SLEEP DEALER

නිසල ගනුදෙනුකරුවන් හරහා තඹුත්තේගමට -  SLEEP DEALER

විද්‍යා ප්‍රබන්ධයක් හෝ ෆැන්ටසියක් නොවන Sleep Dealer (නිසල ගනුදෙනුකරුවා) සිනමාපටය තවත්  පැත්තකින් අප ඉදිරියේ තිඛෙන කටුක යථාර්ථය හෙළිදරව් කරනවා. ඩිජිටල් ලෝකය තුළ නව පරම්පරාවේ ඉරණම කුමක් වේවි ද? කෙලින්ම රැකියා සඳහා සේවකයන් සපයන ශ්‍රමය තව දුරටත් එලෙස ම පවතී ද? හමුදාකරණය වූ ලෝකයක් තුළ දුබලයාට කුමකින් කුමක් වේවි ද? ඒ් සඳහා Alex Rivera  අධ්‍යක්ෂණය කළ Sleep Dealer අපිට මග පෙන්වනවා.

මෙමෝ කෲස් මෙහි ප්‍රධාන චරිතය යි. ඔහු තරුණයෙක්. මෙක්සිකෝවේ සන්තානා ඩෙල්රියෝ නම් අති දුෂ්කර ගමක මෙමෝ වාසය කරන්නේ තාත්තා, අම්මා හා සහෝදරයා සමඟ. පියා ගොවියෙක්. බඩඉරිඟු සහ බෝංචි වවන්නෙක්. අපහසු ම කාර්යය තමයි වතුර...! ජල මාර්ගය හරස් කරලා ඉදිකරපු වේල්ල නිසා ගොවීන්ට වතුර බිඳක්වත් නොමිලේ ලැබෙන් නෑ. 

ඔවුන් ගන්නා සෑම වතුර බිඳුවකට ම මිලක් නියම වෙනවා. ස්වයංක්‍රීය ගිනි අවියක් සහිත ඩිජිටල් ගණක යන්ත්‍රයකින් මුදල් ගණනය කළ පසු ජලාශය සඳහා ගොවීන්ට දොර විවර වන අතර ඒ වටපිටාවෙත් අවිගත් සෙබළුන් සීරුවෙන්. ගොවීන්ගෙන් කොල්ල කා ගත් වතුර මිලිටරි (හමුදා) බලයෙන්, සමාගම් අනින් මේ විදියට ආරක්ෂා වෙද්දි ලාංකේය නිදසුනකුත් මෙතනට ගලපන්න බැරි කමක් නෑ.

පහුගිය කාලයක තඹුත්තේගම ගොවීන් මහමඟට බැස උද්ඝෝෂණය කළේ රාජාංගනය වැව් ජලය ජල ව්‍යාපෘතියක් සඳහා සමාගමකට විකිණීමට එරෙහිව. අපි Sleep Dealer ඔස්සේ දකින්නේ එහි දිගුව. එහෙමත් නැත්නම්  සමාගමකට විකුණූ පසු ගෙවෙන මොහොත. සමාගම සිය මූල්‍ය බලය, රාජ්‍ය හා එක් වී මිලිටරිය(හමුදාව) මගින් ගොවීන් තලා පෙලා තම අරමුණු පමණක් සාක්ෂාත් කර ගන්නවා.  ගොවි ජනතාවගේ සානුකම්පිත ප්‍රශ්න මුදල් ඉදිරියේ අවලංගු කාසි වෙනවා. ඒ නිසා Sleep Dealer සිනමාපටය අපට ඒවැනි මොහොතක් තේරුම් ගන්න උපකාර වෙනවා.

නැවතත් මෙමෝ (සිනමාපටයේ ප්‍රධාන චරිතය); ඔහු ගෙවන්නෙ දුෂ්කර ජීවිතයක්. එසේ වුවත් තාක්ෂණික උපකරණ අටවා ගනිමින්, රේඩියෝ තරංග තාක්ෂණ්‍ය මගින් ඔහු විවිධ සංඥාවලට සවන් දෙනවා. ඇමරිකන් හමුදාවේ රහස් රේඩියෝ සංඥාවලට සවන් දෙන්න ගිහින් මෙමෝට වැඬේ වරදිනවා. Sleep Dealer (නිසල ගනුදෙනුකරුවෙක්) කෙනෙක් මගින් මෙහෙයවෙන ඩ්‍රෝන යානයක් මෙමෝගේ නිවස ගිනිබත් කරන්නෙ ඔහුගේ පියාත් සමඟ යි. 

මෙමෝ නගරයට යනවා. රැකියාවක් හොයාගෙන. බස් රථයේ දී අහම්බෙන් හඳුනාගත් තරුණියකගේ උපකාරයෙන් මෙමෝට නිසල ගනුදෙනුකරුවෙක් වෙන්න ඉඩ ලැබෙනවා. සරල භාෂාවෙන් කිව්වොත් මෙමෝට පුරුක් රස්සාවක් ලැබෙනවා. යන්ත්‍රානුසාරයෙන් ශරීරයේ අභ්‍යන්තර ස්නායු දක්වාම සම්බන්ධ කෙරෙන ලෝහ පුරුක් ගණනාවක් මේ නිසල ගනුදෙනුකරුවන්ට සවි වෙනවා. අපි එදිනෙදා භාවිතයේ දී පරිගණකයට විවිධ කේබල් වර්ග සම්බන්ධ කරන විදියට ම මිනිස් ශරීරයේ සංඥා යන්ත්‍රගත කරන්න මේ ක්‍රමයෙන් පුළුවන්. 

කිලෝ මීටර ගණනක් දුරින් තියෙන ගොඩනැගිල්ලක් ඉදිකරන රොබෝවරු පාලනය කිරීම, ගෙදරක ළමයි බලා ගැනීම, ඩ්‍රෝන යානා පැදවීම... මේ හැම දෙයක් ම නිදන ගනුදෙනුකරුවන් කරන්නෙ එක් ස්ථානයක සිට පුරුක් මගින් තම ආත්මීය ශ්‍රමය යන්ත්‍රගත කරලා. සියලු ශක්තීන් ඊට යොදවලා. මෙමෝ දිගට ම මේ රැකියාව කරමින් තම සහෝදරයාට සහ මවට මුදල් යවනවා. 

චිත්‍රපටය අවසන් වෙන්නෙ මෙමෝගේ දුෂ්කර ගම්මානයට වැට බැඳලා තිබුණු වේල්ල පිපිරවීමෙන්. ඒක වෙන්නෙ මෙහෙමයි; මෙමෝගේ මිතුරු තරුණිය කතුවරියක්. ඇය ලියනවා. අති දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් යටතේ පරිගණකයේ කතා ලියනවා. මෙමෝගේ කතාවත් ඇය ලියනවා. මේ කතාව කියවන පුරුක් රස්සාව කරන තවත් පුද්ගලයෙක් ඔහුට උපකාර කරන්න පැමිණෙනවා. මොහු වෙන කවුරුත් නෙවේ, මෙමෝ කෲස්ගේ දුප්පත් නිවසට බෝම්බ දාපු ඩ්‍රෝන යානයේ ක්‍රියාකරුවායි. ඔහු මෙවර නිසල ගනුදෙනුව හරහා ඩ්‍රෝනය මෙහෙයවන්නේ  ජලාශයේ බැම්ම පුපුරවන්න.

බැම්ම පුපුරනවා. සන්තානා ඩෙල්රියා ගම්මානයට නැවතත් වතුර ලැබෙනවා. රාජාංගනේ ගොවීන්ට වතුර අහිමි වෙන්න යද්දි සන්තානාවල ගොවීන්ට වතුර ලැබෙනවා. ඒ නිසල ගනුදෙනුකරුවන් විසින් ආයතනික ක්‍රමයට එරෙහිව යමින්...

ඔබ මේ සිනමාපටය නැරඹිය යුතුයි. ඒ ඇයි...? හේතුව තමයි තුන්වන ලෝක යුද්ධය වතුර සඳහා ඇතිවෙන්න බොහෝ දුරට ඉඩ තියෙන නිසා.

Top