නාගරීකරණය ලෝකයට ගැටලුවක් ද? (465)

post-title

ලෝකයේ හෝ මහද්වීපයක හෝ රටක හෝ කලාපයක හෝ සමස්ත ජනග‍හනයෙන් බහුතරය ආර්ථික සහ සේවා පහසුකම් සහිත නගර වෙත ස්ථීර පදිංචිය සඳහා සංකේන්ද්‍රණය වීම සහ නගරය දියුණුවීම ‘නාගරීකරණය’ නම් වේ.ප්‍රථමයෙන් ම එංගලන්තය තුළ ඇති වූ කාර්මික විප්ලවය පසුකාලීනව යුරෝපීය රටවල්වලද වය්‍යාප්ත විය.ඊට සමගාමී ව වර්ධනය වූ නාගරීකරණය ලෝකයේ සමාජ,ආර්ථික,දේශපාලන හා සංස්කෘතික අංශයන්හි විපර්යාසයන් ඇති කිරීමට තරම් ප්‍රබල විය.මුල්කාලීනවඑනම් ක්‍රි.ව.1800 වනවිට ලෝකයේ නාගරීකරණය 3%ක් තරම් මන්දගාමී වර්ධනයක් නිරූපණයකළත් 1970 දශකය වනවිට ලෝක ජනග‍හනයෙන් 37.2%ක් නාගරික ප්‍රදේශ නියෝජනය කරන ලදි.1980 41.%ක් වන නාගරීකරණය 1991 දී  45.2% ක වර්ධනයක් පෙන්වන ලදි.වර්තමානයේ දී 54%ක් එනම් ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් වාසය කරනුයේ නාගරික කලාප ආශ්‍රිතව ය.2014 එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණය පිළිබඳ වාර්තාවට අනුව 2050 වනවිට ලෝක නාගරීකරණ ප්‍රතිශතය 66%ක් දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

රටක නාගරීකරණ මට්ටම ඉහළයාමට බලපානු ලබන්නේ නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය, ග්‍රාමීය ප්‍රදේශවලින් නගරය කරා සිදුවන සංක්‍රමණය සහ නගර සීමා සංශෝධනයේ දී නගරයට පිටතින් පිහිටන ප්‍රදේශ නගරයට එකතු කිරීම යන සාධක මත ය.ලෝකයේ සෑම රටකම නාගරීකරණය අඩුවැඩි වශයෙන් පවතින අතර විවිධ රටවල් නාගරීකරණය ගණනය කිරීමට විවිධාකාර නිර්ණායක භාවිත කරයි.එම නිර්ණායක අතරට ජනගහනය,ජනඝනත්වය,ආර්ථික කටයුතුවල ස්වභාවය යනාදිය අයත් වේ. එහෙත් සම්මතයක් වශයෙන් යම් රටක් නාගරීකරණයට පත්වූ රටක් ලෙස සලකන්නේ නාගරීකරණ මට්ටම 50% ඉක්මවා තිබීමෙනි.මෙලෙස නාගරීකරණය ගණනය කිරීම සඳහා නාගරීකරණ දර්ශකය භාවිත කරනඅතර එහි දී තෝරාගත් ප්‍රදේශයේ වර්ෂයක නාගරික ජන සංඛ්‍යාව මධ්‍ය වාර්ෂික මුළු ජන සංඛ්‍යාවෙන් බෙදා සියයෙන් වැඩිකර එම ප්‍රතිශතය සකසා ගනු ලැබේ. 

නාගරීකරණ ප්‍රමාණය අනුව ඉහළ,මධ්‍යම සහ පහළ වශයෙන් විවිධ මට්ටම් පවතියි.ලෝකයේ කලාපීය වශයෙන් නාගරීකරණ මට්ටමවල විශාල වෙනසක් දැකගතහැක.2014 වනවිට අප්‍රිකානු කලාපයේ සමස්ත නාගරීකරණය 40.4%ක් විය.ආසියාවේ මෙම මට්ටම 47.5%කි.ඒ අනුව සංවර්ධනයවෙමින් පවතින අප්‍රිකානු-ආසියානුකලාපයේ නාගරීකරණ මට්ටම 40%-48% ත් අතර පවතියි.යුරෝපා කලාපයේ නාගරික මට්ටම 73%ක් වනවිට උතුරු ඇමරිකානු කලාපයේ නාගරික මට්ටම 81.5% ක් වේ. ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයේ නාගරික මට්ටම 80%ක් තරම් ඉහළ මට්ටමක පවතියි.ලෝකයේ නාගරික මට්ටම 100% සම්පූර්ණ කළ රටවල් මෙන් ම එම ප්‍රතිශතය 10%ක් තරම් පහළ මට්ටමක පවතින රටවල්ද හඳුනාගත හැකිය. සිංගප්පූරුව, හොංකොං, මොනැකෝ, බර්ම්‍යුඩාව, මැකාවෝ මෙලෙස නාගරික මට්ටම 100% සපුරන රටවල් වන අතර ටිනිඩ්‍රෑඩ් සහ ටුබැගෝ (8.6%), මලාවි(10%) ,බුරැන්ඩි(12%), පැපුවා නිව්ගිනියාව (13%), ශ්‍රී ලංකාව(18%) සහ නේපාලය(18%) යන රටවල් නාගරික මට්ටමේ පහළ ම අදියර නියෝජනය කරයි.

මෙලෙස වර්ධනයවන නාගරීකරණය තුළින් සාධනීය බලපෑම්වලට වඩා ඇතිවී තිබෙන්නේ නිශේධනීය බලපෑම් ය.නාගරික ජනගහනය වැඩිවීමත් සමග විරැකියාව ප්‍රධාන ගැටලුවක් වී තිබේ.මෙහිදී අවම වැටුප් සහිත කෙටිකාලීන රැකියාවක නිරත වන පිරිස බහුල වේ.එසේ ම මෙහි වඩාත් බරපතළ ගැටලුව වන්නේ ජනයා ස්ථීර රැකියා නොමැතිවීම හේතුවෙන් අවිධිමත් රැකියා සඳහා යොමුවීම යි.ගණිකා වෘත්තිය,මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම,සොරකම් කිරීම,සිඟමන් යැඳීම සහ පාතාල ක්‍රියාවන්වල නිරතවීම මේ අතර ප්‍රධාන වේ.මෙහිදී ගණිකා වෘත්තියේ බොහෝවිට නිරතවන්නේ වයස අවුරුදු දහඅටට අඩු ගැහැනු දරුවන් වේ.ළමා අපයෝජන සුලබවීමත්,අවම අධ්‍යාපනයත් නිසා නාගරික කලාප ආශ්‍රිත අඩුආදායම්ලාහී පවුල්වල බොහෝ සමාජීය ගැටලු හඳුනාගත හැකිය.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම කලාපවල දිළිඳුකම සුලබ වේ.මේ හේතුවෙන් ස්ථීර වාසස්ථාන සපයාගැනීම අපහසු වන අතර බහුතරයක් ජනයා තාවකාලිකව තනාගන්නා මුඩුක්කුවාසය කරනු ලැබේ.නගරයේ කම්කරු රැකියාවල නියුක්ත ජනයා බොහෝවිට වාසය කරනුයේ මුඩුක්කු නිවාසවලය.මේවායේ පිරිසිදු ප්‍රමාණවත් ජලය,සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පවතී.ලෝකයේ බොහෝ නාගරික කලාපවල මුඩුක්කු දැකගත හැකිය.ලතින් ඇමරිකාවේ ‘ටුගුරියෝ’ ලෙස ද චිකාගෝ නගරයේ ‘ගෙටෝ’ ලෙස ද මුඩුක්කු හඳුන්වයි.

මුඩුක්කුවලට මුදල් ගෙවීය නොහැකි ඊටත් වඩා අපහසුතා පවතින පිරිස ජීවත්වීම සඳහා අවම මුදලක් භාවිත කර සකස් කරගන්නා පැල්පත් යොදාගනියි.මොවුහූ නිවාස සැකසීමට ලෑලි,ඉටිරෙදි,තහඩු,කාඩ්බෝඩ් වැනි දේවල් යොදාගනිති.දුම්රිය සහ ප්‍රධාන මාර්ග දෙපස,පාලම් යට,ජලාශ අවට,කැළිකසල බැහැර කරන ස්ථාන ආශ්‍රිතව,වෙරළබඩ කලාප ආශ්‍රිතව මෙම පැල්පත් ජනාවාස දැකගත හැකි ය.මෙම පැල්පත් සඳහා එක් එක් රටවල්වල විවිධාකාර නම් භාවිත කරන අතර මුම්බායි නගරයේ ‘ධාරාවි’,පකිස්ථානයේ කරච්චි නගරයේ ‘කච්චිඅබාදි’, බොලිවියාවේ ‘ලාපාස්’,වෙනිසියුලාවේ‘කරකාස්’,ගෞතමාලාව‘ලීමා’,නයිරෝබිවල‘ඩැන්ඩෝරා’ මෙලෙස පැල්පත් ලෙස පවතියි.

ඉහත දැක්වෙන මුඩුක්කු සහ පැල්පත් හේතුවෙන් නාගරික කලාපවල පරිසර දූෂණය ඉතා ඉහළ ය.යටිතල පහසුකම්වල අවමවීම නිසා වර්ෂා කාලයේදී මෙම ජනාවාස ආශ්‍රිත නිර්මාණය වන්නේ අතිශය අපිරිසිදු පරිසර තත්ත්වයකි.මෙම ජනාවාස හේතුවෙන් ජල දූෂණය,වායු දූෂණය මෙන්ම භූමි දූෂණය ද සිදු වේ.මුඩුක්කු සහ පැල්පත් නිවාස ආශ්‍රිත ව දක්නට ලැබෙන තවත් ගැටලුවක් වන්නේ රෝග ව්‍යාප්තිය බහුල වීමයි. මෙම ප්‍රදේශවල මදුරුවන්,මීයන්,මැඬියන් ආදී සතුන් බහුල වීමමෙම රෝග ඇතිවීමට තව දුරටත් හේතුවේ.

ඩෙංගු,මැලේරියාව,කහඋණ,පාචනය,උණසන්නිපාතය,චර්මරෝග,අක්ෂිරෝග,ශ්වසනරෝග,පණුරෝග,කොළරාව වැනි රෝග මෙලෙස සුලබ ව ව්‍යාප්තවීම දැකගත හැක.මේ හේතුවෙන් බොහෝවිට වසංගත තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය ද මන්දපෝෂණය වැනි බෝනොවන රෝගයන් ද ඇතිවේ.විශේෂයෙන් මෙවැනි ප්‍රදේශවල වයස අවුරුදු පහට අඩු දරුවන්ට මන්දපෝෂණ තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් හඳුනාගත හැක.එසේ ම අඩු වයසින් විවහා වීම නිසා මාතෘමරණ,ළඳරු මරණ ද දැකගත හැකිය.මෙම තත්ත්වයබොහෝවිට සංවර්ධනය වෙමින් පවතින රටවල්වල හඳුනා ගත හැක. කොළඹ නගර අවට පවතින කොම්පඤ්ඤවීදිය, නුගේගොඩ, මෝදර, මරදාන, නාරහේන්පිට,දෙමටගොඩ,කැලණිය,වත්තල,මට්ටක්කුලිය,දෙහිවලප්‍රදේශ වල මුඩුක්කු හා පැල්පත් දැකගත හැකිය. 

නාගරිකරණයේ පවතින තවත් ප්‍රධානම ගැටලුවක් වන්නේ කැළිකසළ හා අපද්‍රව්‍ය ගැටලුවයි.කැළිකසළ නිසි ලෙස බැහැර නොකිරීම නිසා නාගරික ප්‍රදේශවල බොහෝ අර්බුද ඇති වේ.ශ්‍රී ලංකාවේ මෑතකාලයේ ඇති වූ කුණු කඳු නායයාම හේතුවෙන් මිනිසුන්ගේ ජීවිත පවා අහිමි විය. වර්තමානය වනවිට තිරසර සංවර්ධනය අරමුණු කරගෙන බොහෝ ව්‍යාපෘති ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වේ.එහිදි පරිසරය සුරකිමින් කැළිකසළ බැහැර කිරීමට සුදුසු පිළියම් යොදමින් සිටින අතර කසළ ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි වැඩි අවධානයක් වර්තමානයේ යොමු වී ඇත.එසේ ම ප්ලාස්ටික්,පොලිතින් වෙනුවට ස්වභාවික ආවරණ වන ශාක ඇසුරුම් සහ මැටි ආශ්‍රිත ඇසුරුම් කෙරෙහි ජනයා තුළ අවධානය යොමුකරවා ඇත.

නාගරීකරණය ලෝකයට නවමංපෙත් විවර කරමින් නව ප්‍රවණතාවයන් සහිත ව සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික විපර්යාසයන් සිදු කරමින් ඉදිරියට ගමන් ගන්නා නමුදු එහි නිශේධනීය බලපෑම් ද ඒ හා සමාන ව වර්ධනය වෙමින් යාවත්කාලීන වී ඇත. එය එසේවුවද නාගරීකරණයෙන් සිදුවන අනිසි බලපෑම් ගණනය කළ නොහැකි තරම් ය.ඒ සඳහා විසඳුම් සෙවීම සිදු කළ යුතුය. 

මුලික වශයෙන් නාගරීකරණය තුළින් ඇතිවන විරැකියාවට විසඳුම් ලබාදිය යුතුය.නාගරික විරැකියාව අවම කිරීමට ග්‍රාමීය ප්‍රදේශවල රැකියා අවස්ථා සහිත කර්මාන්තශාලා ඇති කළ යුතුය.එමෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය.රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නාගරික කලාප කේන්ද්‍රකොටගෙන නිර්මාණය වූවත් ඒවාගේ මූලස්ථානයන් නාගරික කලාපයේ ඉතිරි කර ශාඛාජාල සෙසු ප්‍රදේශයවලට විතැන් කිරීම තුළ දෛනික ව නාගරික ප්‍රදේශ වෙත වන අභ්‍යන්තර සංක්‍රමණය අවම කළ හැකිය. එසේ ම රැකියා අවස්ථා ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීම තුළින් එම ප්‍රදේශ දියුණු වන අතර නාගරික ප්‍රදේශවල අනවශ්‍ය ජනගහන අර්බුද ඇතිවීම වැළකේ. මේ තුළින් මාර්ග තදබදය,කැළිකසළ ගැටලු,ඉඩම් හිඟකම වැනි සෙසු ගැටලු ද අවම කළ හැක. 

විශේෂයෙන් මෙම කලාපවල සිටින අඩු ආදායම්ලාභි පවුල් කෙරෙහි වැඩි අවදානයක් ලබා දිය යුතුය.ජීවන පැවැත්මට අවශ්‍ය අවමය පවා නොමැති වීම තුළ බොහෝවිට නිර්මාණය වන්නේ යහපත් පුරවැසියකු නොවේ.මානව සම්පත වඩාත් හොඳින් උපයෝජනය කිරීම නාගරීකරණය තුළ සිදු කළ යුතුය. මුඩුක්කු සහ පැල්පත් නිවාස ක්ෂණයකින් විනාශ කර එහි වෙසෙන ජනයා පාරට ඇඳ දැමීම හුදෙක් කෙටිකාලීන විසඳුමක් පමණක් වන අතර බොහෝ රටවල සුලබ ව සිදුවන්නේද එම ක්‍රියා පිළිවෙතයි.ඒ වෙනුවට එම ජනතාව නිසි කර්මාන්තයකට හුරුපුරුදු කර රැකියා අවස්ථා ලබාදෙමින් එම ප්‍රදේශ අතහැර යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් එම අපිරිසිදු,අනාරක්ෂිත ජීවන පැවැත්ම වළක්වාලමින් මහල් නිවාස සංකීර්ණ සකසා දීම වැනි විසඳුම් වෙත යාමට රජයක් කටයුතු කළ යුතුය.

කැළිකසල බැහැර කිරීමට වර්තමානයේ ශ්‍රී ලංකාවේ වර්ණ බහාලුම් හඳුන්වා දෙමින් ක්‍රියාවලියක් සිදු වේ.බොහෝ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ස්ථානවල එම කටයුතු සිදුවන දැකගත හැකි ය.එසේ ම ඓන්ද්‍රීය නොවන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යෙදවීමටත් හැකිතාක් ස්වභාවික ඇසුරුම් කෙරෙහි ජනතාව ආශක්ත කිරීමටත් රජය විසින් දැනුවත් කිරීම්,නීති පැනවීම්,දඬුවම් දැඩි කිරීම් සිදු කළ යුතුය.සංවර්ධිත රටවල්වල නාගරීකරණය මනාව කළමනාකරණය කර ගත්තද සංවර්ධනය වෙමින් පවතින රටවල්වල නාගරීකරණය ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ එය මනාව කළමනාකරණය කරගැනීමට නොහැකි වීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ කුණු කඳු කඩා වැටී මිනිස් ජීවිත බිලිගන්නා විට සංවර්ධිත රටවල් අවට රටවල්වලින් කැළිකසළ ආනයනය කර ආදායම් උපයනු දැකගත හැක.

විශ්ව ගම්මාන සංකල්පයක දිවිගෙවන වර්තමානයේ සෑම රටකම ග්‍රාමීය කලාප නාගරීකරණය වෙත සමීප වෙමින් පවතියි.සිංගප්පූරුව යැනි රටවල් 100% නාගරීකරණය වී ඇති තත්ත්වයක සමස්ත ජනතාවට සියලු පහසුකම් එක සේ විඳගත හැකි ය.එහෙත් සංවර්ධනය වෙමින් පවත්න රටවල්වල නාගරික කලාප සහ ග්‍රාමීය කලාප අතර පුළුල් සංවර්ධන විෂමතාවයක් දැකගත හැකි ය.සංවර්ධනය යනු හුඳෙක් සෑම බිමක් ම කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් කිරීම නොව මිනිසාගෙ යහපැවැත්මට සුදුසු ලෙස මානව අවශ්‍යතාවයන් සැපිරෙන ලෙස ඇතිවන සමාජ,ආර්ථික දියුණුව වේ.එබැවින් නාගරීකරණය යම් රටකට හෝ කලාපයකට හෝ ගැටලුවක් වන්නේ එය පිළිබඳ නිසි අවබෝධවක් නොමැතිකමත් එය නිසි ලෙස කළමනාකරණය නොකිරීමත් නිසාවෙන් ය.

Top