ද්‍රවිඩ සංස්කෘතියේ පැවතගෙන එක උපවාස (592)

post-title

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සුළුතර ජන කොට්ඨාශය ලෙස ද්‍රවිඩ ජනයා හඳුනාගත හැකි ය.චිරාත් කාලයක පටන් ඔවුන්ගේ ආගමික පරිසරය පසුබිම් කරගෙන විවිධ සංස්කෘතිකාංග නිර්මාණය වී ඇති අතර 'උපවාස' යනු එලෙස ඇති වූ තවත් එක් ක්‍රියාපිළිවෙත් විශේෂයක්වේ.හිංදු සංස්කෘතියේ එන උපවාස(விரதம்) නැතහොත් ව්‍රත (உபவாசம்) තුළින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ මිනිසාගේ මනස පාලනය කිරීමයි. එහිදී ප්‍රධාන වශයෙන් ආහාර පාලනය කරමින්(ආහාර ගැනීම අවම කිරීමෙන් හෝ සම්පූර්ණයෙන් ම ආහාර නොගෙන සිටිමින්) දෙවියන් සිහි කරමින් යම්කිසි කාල පරිච්ඡේදයක් ගත කිරීම අරමුණු වේ. මෙම ආහාර පාලනය කිරීම තුළින් පංචේන්ද්‍රියයන් පාලනය වන බව හින්දූන්ගේ විශ්වාසය වේ.හින්දු බැතිමතුන්හට උපවාසයේ හිඳීම අනිවාර්ය නොවන අතර ස්ත්‍රී පුරුෂ බව මත උපවාස හිඳීමේ ගැටලුවක්ද නොමැත. බොහෝවිට උපවාසවල යෙදීමේදී දිනකට එක ආහාර වේලක් ලබා ගැනීම හෝ ආහාර වේල් දෙකක් පමණක් ලබාගැනීම දැකගතහැක. හින්දු ආගමික විශ්වාසයන්ට අනුව උපවාස තුළින් මානව ජීවිතය සැහැල්ලුවට පත් වේ.

හින්දු ආගමේ ප්‍රධාන වශයෙන් උපවාස හතක් පමණ වේ.මියගිය ආත්ම වෙනුවෙන් වන උපවාස,ගණදෙවියන් උදෙසා වන උපවාස,ශිවදෙවියන් උදෙසා වන උපවාස,කතරගමදෙවියන් උදෙසා වන උපවාස,විෂ්ණුදෙවියන් උදෙසා වන උපවාස,කාළි දෙවඟන වෙනුවෙන් වන උපවාස,නවග්‍රහ දෙවියන් වෙනුවෙන් වන උපවාස ඒ අතර වේ.හිංදු බැතිමතුන් හිංදු ආගමේ එන දෙවියන් වෙනුවෙන් වැඩි වශයෙන් උපවාස පවතින අතර තම මියගිය දෙමව්පියන් වෙනුවෙන්ද උපවාසවල හිඳීම දැකගත හැක.

මියගිය දෙමව්පියන් වෙනුවෙන් සිදුකරනු ලබන උපවාස පිතිර් විරදම්(பிதிர் விரதம்) ලෙස හඳුන්වනු ලැබේ.මියගිය ආත්ම සඳහා වන උපවාස ප්‍රධාන වශයෙන් නැවත වර්ග කළ හැක.මියගිය මවගේ ආත්මය වෙනුවෙන් සිදුකරන උපවාසය සිත්තිරෙප් පූණෛ(சித்திரை பூரணை)ලෙස හඳුන්වයි.මෙලෙස නම් කෙරෙනුයේ දෙමළ මාස ක්‍රමයට අනුව ඔවුන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේ ය.එය සිත්තිරෛ(சித்திரை)ලෙස හඳුන්වයි.එතැන පටන් සෑම පෝය දිනකම මෙය සිදුකරනු ලැබේ.මෙම උපවාසය සිදු කරනුයේ සෑම මාසයක ම යෙදෙන පසළොස්වක පෝය දිනයේදීය. මියගිය පියාගේ ආත්මය වෙනුවෙන් පවත්වන උපවාසය හඳුන්වන්නේ ආඩි අමාවාසෛ(ஆடி அமாவாசை) වශයෙනි.මෙම උපවාසය සෑම මාසයක ම යෙදෙන අමාවක දිනයේදී සිදු කරනු ලැබේ.

ගණ දෙවියන් උදෙසා වන උපවාස දෙකක් පවතියි.ඒවානම් සදුර්ති ව්‍රතය(சதுர்த்தி விரதம்) සහ පිල්ළෙයාර් කදෛ(பிள்ளையார் கதை)යන්නයි.සදුර්ති ව්‍රතය පුරනුයේ පෝය දිනය සහ අමාවක දිනය යන දිනවලට පසුව යෙදෙන සිව්වන දිනයේ ය.ඒ අනුව සාමාන්‍යයෙන් මාසයකට සදුර්ති දින දෙකක් යෙදෙයි.හින්දු දින දර්ශනයට අනුව ගණ දෙවියන්ගේ උපත සිදු වී ඇත්තේ අගෝස්තු මාසයේ අමාවක දාට පසුව එන සිව්වන දිනයේදීය.එය විනායක සදුර්ති වශයෙන් නම් කර ඇත.මෙම සදුර්ති දිනවලදී හින්දු බැතිමතුන් ඊතණවලින් ගණ දෙවියන් පුදනු ලැබේ.පිල්ළෙයාර් කදෛ නම් ව්‍රතය යෙදෙනුයේ දෙමළ මාස ක්‍රමයට අනුව නොවැම්බර් මාසයේ පෝය දිනයට පසු දිනයේ දී ය.මෙම උපවාස කාලය තුළ ගණ දෙවියන් පිළිබඳව වන කතා පුවත්වලට සවන්දීම හින්දු බැතිමතුන් විසින් සිදු කරනු ලැබේ.මෙම උපවාසයේ අවම දින එකක් ද උපරිම දින විසිඑකක් සිටිය හැකි අතර එහිදී පළමු දින විස්ස පුරාවට දිනකට එක ආහාර වේලක් පමණක් ලබාගනු ලැබේ.විසි එක්වන දිනයේ දී ආහාර අනුභව නොකරන අතර පසු දිනයේ උදෑසන උපවාසය අතහැරිය හැක.

ශිව ව්‍රතය(சிவ விரதம்) ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.එනම් ශිවරාත්‍රි ව්‍රතය (சிவராத்திரி விரதம்),ප්‍රදෝස ව්‍රතය(பிரதோசவிரதம்)තිරුවෙම්බාවෛ ව්‍රතය(திருவெம்பாவை விரதம்)ලෙස වර්ග කළ හැක.හින්දූහු දෙමළ මාස ක්‍රමයට අනුව පෙබරවාරි මාසයේ මහශිව රාත්‍රි දිනයේ ශිවරාත්‍රි ව්‍රතය පුරන අතර එදින නොනිදා රැය පහන් කරති.උදෑසන ස්නානය කොට කෝවිල වෙත යන බැතිමතුන් වන්දනාමාන අහවර කළ පසු ව ශිව පුරාණය කියවමින් දවස ගෙවනු ලැබේ.මෙම දිනය පුරාවට ආහාර අනුභව නොකරන අතර පසුදින උදෑසන උපවාස අතහැරීම සිදු කරනු ලැබේ.මෙදින රාත්‍රියේ කෝවිල තුළ පූජාවන් හතරක් පවත්වනු ලැබේ.රාත්‍රියේ දී ශිවලිංග ප්‍රතිමාවට පහන් දල්වා අභිෂේක ගැන්වීම සිදු කෙරේ.සවස හය,රාත්‍රී නවය,මධ්‍යම රාත්‍රි දොළහ සහ අලුයම තුන යන වේලාවන්හී දී මෙම පූජා පැවැත්වේ.පස්වරු 11.30 සිට පෙරවරු12.15 කාලය ලිංගොත්බව කාලය ලෙස සලකනු ලැබේ.පසුදින දහවල් කාලයේ නිදාගැනීම නුසුදුසු ලෙස සලකන අතර මෙම ව්‍රතය තුළින් මිනිස් සිත තුළ පවතින අහංකාරය ඉවත්කරගැනීම අරමුණු කරගනී.

ප්‍රදෝෂ ව්‍රතයෙහි හිදිමින් ශිව දෙවියන් වන්දනා කිරීම තුළින් ඕනෑම දෝෂයක් ඉවත් කරගත හැකි බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වන අතර සෑම මසකටම දෙවරක් ප්‍රදෝෂ ව්‍රතය යෙදෙයි.එම ව්‍රතය යෙදෙන දිනයන්හී පස්වරු 4.30 සිට පස්වරු 6.00 වනතුරු ප්‍රදෝෂ කාලය යෙදෙයි.මෙම උපවාසයේ දී ශිව දෙවියන්ගේ වාහනය ලෙස සලකන නන්දි(වෘෂභයා) දෙවියන්ගේ අං දෙක අතරින් ශිව වන්දනාව පැවැත්වීම සිදු කරනු ලැබේ.දෙසැම්බර් මස දින දහයක් පුරාවට පැවැත්වෙන උපවාසය වන්නේ තිරුවෙම්බාවෛ උපවාසයයි.මේ සඳහා බොහෝවිට සම්බන්ධ වන්නේ කන්‍යා කාන්තාවන් වේ.මෙම දිනයන්හීදී උදෑසනින් හිස් සෝදා බැතිමත්හු කෝවිල් වන්දනා කරන අතර නටරාජ් ප්‍රතිමාව(ශිව දෙවියන්ගේ නර්තය ප්‍රතිමාව) වන්දනා කරනු ලැබේ.

හින්දු බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන තවත් වැදගත් දෙවියෙකුවන කතරගම දෙවියන් (முருக விரதம்) වෙනුවෙන් ද මොවූහු උපවාස හිදිති.ඔක්තෝම්බර් මස යෙදෙන අමාවක දිනයට පසුදින සිට දින හයක් උපවාස හිදින අතර මෙම උපවාසයෙහි වසර හයක් පුරා නොකඩවා යෙදිය යුතු ය.මෙම උපවාසය පවත්වනුයේ කතරගම දෙවියන් විසින් සුරන් නමැති අසුරයාව සංහාරයට පත්කිරීම නිමිත්තෙනි.මේ පිළිබඳ ස්කණ්ධ පුරාණයේ දැක්වෙන අතර මෙම උපවාසය කන්දසට්ටි(கந்த கட்டி)ලෙස හඳුන්වයි.දෙමළ සංස්කෘතියේ පහන් දැල්වීම ඉතා වැදගත් සහ සුලබ දර්ශනයක් වේ.නොවැම්බර් මස යෙදෙන කාර්තිහෛ විලක්කීඩු (கார்த்திகை விளக்கீடு) උපවාසයේදී පසළොස්වන දිනයේදී සහ කාර්තික තාරකා දිනයේදී නිවෙස්වල,ගෙමිදුල්වල සහ කෝවිල්වල පහන් දල්වන ලැබේ.නැගෙනහිර අහසේ සඳ දිස්වන විට නිවසේ දොරකඩ කෙසෙල් ගසක පහනක් දල්වනු ලැබේ.වසර දොළහක් පුරා මෙම උපවාසයේ යෙදීම යහපත් බව ද හින්දු සංස්කෘතියේ දැක්වේ.

විෂ්ණු දෙවියන් වෙනුවෙන් පවත්වන උපවාස විෂ්ණු උපවාස (விஷ்ணு விரதம்) නම්වේ.ක්‍රිෂ්ණා (විෂ්ණු දෙවියන් කුඩා කළ හැඳින්වූ නාමය) මධ්‍යම රාත්‍රියේ උපත ලබා ඇති අතර එය සංස්කෘත භාෂාවේ ක්‍රිෂ්ණා ජන්මාෂ්ටාමි(கிருஷ்ண ஜெயந்தி)ලෙස හඳුන්වයි.මෙය අගෝස්තු මාසයේ පෙසළොස්වක දිනයේ සිට අටවන දිනයේ දී පැවැත්වෙන අතර එදින සවස් කාලයේ නමස්කාරය සිදුකරයි.දෙසැම්බර් මස පසළොස්වක දිනය සහ අමාවක දිනයට පසුව යෙදෙන එකොළොස්වන දිනයේ දී ඒහාදසි(ஏகாதசி) උපවාසය පැවැත්වේ.සංස්කෘත භාෂාවට අනුව ඒහාදසි යනු එකොළහ වේ.මෙම දිනයන්හි දිවාරාත්‍රී උපවාසයේ යෙදීමෙන් විෂ්ණු දෙවියන්ගේ වාසස්ථානය වන වෛකුණ්ඩවාසම් වෙත යොමුවිය හැකි බව විශ්වාස කරයි වෛකුණ්ඩවාසම්හිදී සදාකාලික සතුට,නිරෝගීබව,කීර්තිය අත්වෙන බව හින්දූන් සලකයි.

කාළි දෙවඟන වෙනුවෙන් පැවැත්වෙන උපවාස ලෙස නවරාත්‍රි උපවාසය( நவராத்திரி)සහ ගෞරි උපවාසය(கௌரி விரதம்)දැක්විය හැක.සැප්තැම්බර් මාසයේ අමාවක දිනයට පසුදින සිට දින නවයක් පුරා පුරනු ලබන මෙම ව්‍රතය නිවෙස්වල මෙන් ම කෝවිල්වල ද පවත්වනු ලැබේ.මෙහිදී පළමු දින තුන දුර්ගා දේවියහට ද(බලය,වීර්යය වෙනුවෙන්) ඊටපසු දින තුන ලක්ෂ්මි දෙවඟනහට ද (සම්පත්තීන් සහ ආර්ථික දියුණුව වෙනුවෙන්) අවසාන දින තුන සරස්වතී දෙවඟන වෙනුවෙන් ද (අධ්‍යාපනය) පූජා පවත්වනු ලැබේ.මෙම උපවාසය අවසන් වන නවවන දිනයේ දී ආයුධ පූජාව පවත්වයි.මෙහිදී පූජා කාමරය තුළ ආයුධ වර්ග,පොත්පත්,සංගීත භාණ්ඩ තබා සරස්වතී පූජාව ද සෙසු පූජාවන්ද පවත්වයි.මෙම දිනය නවරාත්‍රි දිනය නම් වේ.ඊටපසු දින එනම් දසවන දිනයේ දී හින්දූන් විජයදසමි දිනය සමරනු ලැබේ.දුර්ගා දේවිය මහිටාසුරන් නම් වූ අසුරයා විනාශ කිරීම සමරමින් මෙදින අසුරයා ලෙස කෙසෙල් ගහක් යොදාගෙන ඊට ඊතල විඳීමත් පසුව කෙසෙල් ගස කපා දැමීමත් සිදු කරනු ලැබේ.මෙම උත්සවය මානම්පු උත්සවය ලෙස ද හඳුන්වන අතර මෙදින අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමත්,ළමුන්හට අකුරු කියවීම වැනි සුබ කටයුතු ආරම්භ කරනු ලැබේ.

සැප්තැම්බර් මාසයේ සිට ඔක්තෝම්බර් මාසයේ දක්වා දින විසි එකක් පුරාවට ගතකරන ගෞරි ව්‍රතය සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් පුරනු ලබන ව්‍රතයක් වන නමුදු පුරුෂයන්හට ද මෙම ව්‍රතයේ පිහිටිය හැක.තම විවහා දිවිය සුවදායී සහ වාසනාවන්තවීමේ අරමුණින් මෙම ව්‍රතයේ යෙදෙන අතර අවිවාහක කාන්තාවන් තමන්හට යහපත් ස්වාමිපුරුෂයෙකු ලැබිය යුතුය යන පැතුමින් මෙම ව්‍රතයේ යෙදෙයි.මෙහිදී ගැට විසිඑකක් යෙදූ රතුපැහැ නූලක් කාන්තාවන්ගේනම් වම් මැණික් කටුවේද පුරුෂයන්ගේනම් දකුණු මැණික් කටුවේද ගැටගසනු ලැබේ.විසිදෙවන දිනයේ සුර්යෝදයට පෙර අවදිව ආහාර පිස දෙවියන් පුදා තමාද ආහාර අනුභව කර උපවාසය අතහැරිය හැක.මෙහිදී ගැටගසන නූල ඊළඟ උපවාස කාලය තෙක් තබාගත යුතු අතර ඊළඟ උපවාසය ආරම්භයේදී අලුත් නූලක් ගන්නාවිට පැරණි නූල ගලායන ජලයට දැමීම සිරිතවේ.

මෙම උපවාසවලට අමතර ව සෑම සෙනසුරාදා දිනයක ම සෙනසුරු දෙවියන් වෙනුවෙන් සෙනසුරු අපල පවතින් අය වෙනුවෙන් උපවාස සිටීම සිදුකරනු ලැබේ.සැප්තැම්බර් මාසයේ එළඹෙන සෙනසුරාදා දිනයේ යෙදෙන උපවාසය පුරට්ටාදිච්චනි(புரட்டாதிச்சனி)ලෙස හඳුන්වයි.මෙම උපවාසයේ දී තද නිල් පැහැ මල් පූජා කර කලු රෙදිවල කලු තල තබා පූජා පැවැත්වීම ද බත්වලට තලතෙල් සහ තල මිශ්‍ර කර කපුටන්හට දන්දීම ද සිදු කරයි.

හින්දු බැතිමතුන් විසින් උපවාස යෙදෙන කාලය තුළ නිර්මාශික වන අතර ළූණු,මුරුංගා,පුහුල් වැනි ආහාර නොගැනීමද සම්මත සිරිත වේ.මත්පැන් පානය,දුම්පානය හෝ බුලත් සැපීම නොකරන අතර දිවාකල නිදාගැනීමද නොකළ යුතුය.බොරුකීමෙන් වැළකීම,සෙසු අයට හිංසා කිරීමෙන් වැළකීම සිදු කළ යුතුය.ආගමික සංකේතවන විභූති,කුංකුම,සඳුන් පැළඳීම ද වැදගත් වේ.ආගමික කටයුතුවල නියැලෙමින් පාරිශුද්ධත්වයට පත්වීම,පින් පැමිණෙන කටයුතුවල යෙදීම වැනි කටයුතුවලින් පංචේන්ද්‍රිය පාලනය කිරීම මෙම උපවාසවල මූලික අරමුණු වේ.මේ සියලු කාරණා තුළින් මිනිසා තුළ පවතින නිශේධනාත්මක සිතුවිලි යම් තරමකට අනුව පාලනය වන අතර එය පුද්ගලික ව එක් එක් පුද්ගලයාට ද පොදුවේ සමස්ත සමාජයට ද යහපත ළඟා කර දෙන්නක් වේ.

Top